ප්‍රවීණ ගීත රචක, නාට්‍යවේදී රෝහණ දන්දෙණිය මහතාගේ ගීත රචනා ඇතුළත් ගීත සමුච්ඡය වන ‘නිකින්නේ සඳ’ සීඩී තැටිය රසවිඳීමට ලැබිණි. එහි ඇතුළත් සෑම ගීතයක්ම පාහේ ගැමිවහරින් සහ ජනශ්‍රැතියෙන් පෝෂිත අතර ජනකාව්‍ය ලක්ෂණ වලින් අනූන ය. ගැමි ජීවිතය අත්දැකීමෙන්ම ලද අයෙකුට මිස එතරම් අපූරුවට ගැමි සංකල්ප වස්තුබීජ බවට පත්කරගෙන ගීත රචනා කළ නොහැකි බව සිතමි. වියත් වහරින් ඈත්ව සරල, සිත්ඇදගන්නාසුළු භාෂා විලාසයකින් ඔහු සිය රචනාව අලංකාර කරන්නේ අසන්නාට පහසුවෙන් වැටහෙන පරිදිත්, සංකල්ප රූප මැවෙන පරිදිත් ය. බොහෝවිට මේවා ගැමියාට සහ ගැමි අත්දැකීම්වලට වඩාත් සමීප සිවුපද ආකෘතියෙන් නිර්මාණය වී තිබෙයි. මේවායේ සංගීතය මෙන්ම ගායනයද සංකීර්ණ නොවේ. රෝහණ දන්දෙණිය මහතාගේ රචනා පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙමි. ඒ ගීත එකතුවේ එක් ගීතයක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරමි.

චයියා හෝ...තෙයියා හෝ
ගොයම් කරල් දැන් බිමට නැමෙනවා - කුරුල්ලො ඇවිදින් කරල් කපනවා
තල්පිති පොල්පිති ගලේ ගහනවා - අව්වැසි නොබලා කුඹුර රකිනවා
ඌසේ හෝයි...ඌසේ හෝයි
චයියා හෝ...තෙයියා හෝ 

අයියගෙ කුඹුරේ තෙයියෝ කනවා - අයියා ඇවිදින් අපට තලනවා
සකලයො හින්දා වධය විඳිනවා - උණබෙර හඞ දිගටම පැතිරෙනවා
ඌසේ හෝයි...ඌසේ හෝයි
චයියා හෝ...තෙයියා හෝ 

දුප්පත් අපි හැමදේ ඉවසාවා - කුරුල්ලො තොපගේ වරද නොවේවා
දෙවි පිහිටෙන් කුඹුරට වැඩවේවා - මේ වර කුඹුරට කිරි ඉතිරේවා

       මෙය සංගීතවත් කොට ගයනු ලබන්නේ රෝහණ බැද්දගේ ශූරීන් ය. මෙය එතුමාගේ ‘සසඳ’ සංගත තැටියේ ද අඩංගු වන ගීතයකි.
                   කුඹුරේ ගොයම් කරල් පැසීගෙන එනවිට ගොයමට සිදුවන ප්‍රධාන අතුරු ආන්තරාවක් වනුයේ කුරුල්ලන් පැසුණු ගොයම ආහාරයට ගැනීමයි. මෙය වලක්වා ගැනීම ගොයම් කපන සමය වනවිට ගොවියාට ඇති ප්‍රධානතම රාජකාරියකි. මේ සඳහා ගොවියෝ විවිධ උපක්‍රම භාවිතා කරති. කුරුල්ලන් එළවීමට කෑ ගැසීම, උණබෙර ගැසීම, තල්පිති පොල්පිති ගලේ ගැසීම ආදිය මේ අතර වෙති. චයියා හෝ...තෙයියා හෝ...ඌසේ හෝයි ආදී ලෙස කියමින් කෑ ගසමින් සකලයන් හඹන ගොවියන්, කොලුකුරුට්ටන් ගොයම් පැසුණු කුඹුරක සුළබ දසුනකි. ගොයම් පැසෙන කාලය වනවිට, එකල පාසැල් අහවර වී නිවසට පැමිණෙන දරුවන්ගේ ප්‍රධාන රාජකාරියක් වූයේ මේ සකලයන් හැඹීමයි. අද වනවිට එය වෙනස් වී දරුවන් රෑ වනතුරු ටියුෂන් පන්ති ගානේ යමින් හෝ කාටූන් බැලීම, ගේම් ගැසීම වැනි වෙනත් අමතර වැඩකටයුතු වල යෙදෙමින් සිටින බැවින් පරිසරය සමග තිබූ සම්බන්ධතාවය ගිලිහෙමින් පවතියි.
මෙම ගීතයෙන් ද රචකයා විස්තර කරන්නේ ගොයම් කරල් කපන කුරුල්ලන්ගෙන් ගොයම බේරා ගැනීමට ගොවියා දරන වෙහෙසයි. ගොයම කුරුල්ලන් හානි කරන විට වැඩිහිටියන්ගෙන් බැණුම් අසන්නේ පොඩි අයයි. සකලයන් හැඹීම පොඩි අයටම පැවරුණු රාජකාරියක් මෙනි. කෙසේ නමුත් කොතරම් කුරුල්ලන්ගෙන් හානිවුවද ඔවුන්ට අහිතක් නොපතන ගැමියා කුරුල්ලන්ටද ගොයමේ කොටසක් ඉතිරි කරන්නේ ඔවුන්ද මේ පරිසර පද්ධතියේම කොටසක් බව හොඳින්ම දන්නා නිසාය.
මේ සියල්ල සිය රචනාවෙන් ශූර ලෙස විශද කිරීමට රෝහණ දන්දෙණිය මහතා සමත් වී තිබෙයි. එය ගැමි ජීවිතය පිළිබඳ අතැඹුලක් සේ දන්නා අයෙකුට මිස කළ නොහැකි කාර්යයකි. එසේම මෙහි සංගීතය නිර්මාණය කිරීමේදී රෝහණ බැද්දගේ ශූරීන් ජනනාද මුසුවූ සරල සිත්ඇදගන්නාසුළු තනුවක් සහ සංගීත සංයෝජනයක් නිමවා තිබෙයි. චයියා හෝ...තෙයියා හෝ...ඌසේ හෝයි...ආදී ලෙස කරන ගායනය තල්පිති, පොල්පිති ගලේ ගසන හඞ, සකලයන් හැඹීම මනාලෙස අප මනසේ ප්‍රතිනිර්මාණය කරයි. එසේම සමස්ත තනුවේ පවතින ශොකාකූල ස්වරය, තම ගොයමට සිදුවන හානියෙන් පීඩාවට පත් ගැමියාගේ ආත්ම ප්‍රකාශනයයි.
(විශේෂ ස්තුතිය රෝහණ දන්දෙණිය මහතාගේ පුතු වන ආචාර්ය තරංග දන්දෙණිය මහතාට)