Monday 16 July 2018

මීයැසි අදියුරු වත - ඉලෙයරාජා

 
        දකුණු ඉන්දියානු සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායකයෙක්, ගීත රචකයෙක්, වාදකයෙක්, වාද්‍ය වෘන්ද මෙහෙයවන්නෙක්, ලෙස සංගීත ක්ෂේත්‍රයේ නියැලෙන ඉලෙයරාජා ඉන්දියාවේ බිහිවුණු ශ්‍රේෂ්ට සංගීතඥයෙක් ලෙස සැලකේ. ඔහු ඉන්දියානු ප්‍රධාන ධාරාවේ සංගීතයට බටහිර සංගීත ලක්‍ෂණ හඳුන්වාදීමට පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. ලන්ඩන් ෆිලාමොනික් ඔකෙස්ට්‍රා සමග පරිපුර්ණ සංගීත සංධ්වනියක් සංරචනය කල පලමු ආසියාතිකයා ලෙස ඉලයරාජා පිළිගැනෙයි. ඔහු මේ සම්පුර්ණ සංධ්වනිය දවස් 13කින් ලියා අවසන් කොට ඇත. ඔහු ට්‍රිනීටි සංගීත විද්‍යාලයෙන් ක්ලැසිකල් ගිටාරය පිලිබඳව ද හදාරා ඇත.
 මේ වනවිට ඔහු ගීත 7000ක් පමණද, 1000ක වැඩට වැඩි චිත්‍රපට සංඛ්‍යාවකද, කොන්සට් 20000 ක පමණද සංගීතය මෙහෙයවා ඇත. සමහර විචාරකයන්ට අනුව ඉලයරාජා ලෝකයේ හොඳම සංගීතඥයින් 10 දෙනා අතර සිටියි.
ඉලයරාජා වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ඉන්දියානු ජන සංගීතය සහ ඉන්දියානු සංගීත භාණ්ඩ බටහිර සම්භාව්‍ය සංගීත ක්‍රම ශිල්ප සමග මුසු කිරීමටයි. ඉලයරාජා ඉන්දියානු ජාතික සිනමා සම්මාන පහකට උරුමකම් කියයි. ඊට අමතරව පද්ම භූෂණ්, පද්ම විභූෂණ්, සංගීත් නාටක් ඇකඩමි සම්මානය වැනි සම්මාන රැසක් ඔහු දිනා ඇත. 2003 වසරේදී BBC ආයතනය විසින් ලෝකයේ රටවල165ක මිලියන භාගයක පමණ ජනතාවකගේ සහභාගීත්වයෙන් මෙහෙයවූ සමීක්ෂණයකදී, ඉලෙයරාජා විසින් ‘තලාපති’(1991 ) චිත්‍රපටයට නිර්මාණය කල ‘රාකම්මා කය්යා තට්ටු’ නම් ගීතය ලෝකයේ හොඳම ගීත දහය අතරින් හතරවන ස්ථානය දිනුවේය. සිනමා ඉතිහාසයේ බිහිවූ හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරූ 25 දෙනා අතරින් ඉලයරාජා 9 වන ස්ථානයේ රඳවන්නට Taste Of Cinema සංවිධානය කටයුතු කර ඇත. එසේම ඒ ලයිස්තුවේ සිටින එකම ඉන්දියානු සිනමා සංගීත අධ්‍යක්ෂවරයා ද ඔහුය. 2013 දී ඉන්දියානු සිනමාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් CNN-IBN ආයතනය විසින් පැවැත්වූ ඡන්ද විමසීමකදී ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ටතම සිනමා සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඉලයරාජා තේරී පත් විය. 2012 ලන්ඩන් ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී ඔහුගේ ගීතයක් වාදනය විය.
දකුණු ඉන්දියානු සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායකයෙක්, ගීත රචකයෙක්, වාදකයෙක්, වාද්‍ය වෘන්ද මෙහෙයවන්නෙක්, ලෙස සංගීත ක්ෂේත්‍රයේ නියැලෙන ඉලෙයරාජා ඉන්දියාවේ බිහිවුණු ශ්‍රේෂ්ට සංගීතඥයෙක් ලෙස සැලකේ. ඔහු ඉන්දියානු ප්‍රධාන ධාරාවේ සංගීතයට බටහිර සංගීත ලක්‍ෂණ හඳුන්වාදීමට පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. ලන්ඩන් ෆිලාමොනික් ඔකෙස්ට්‍රා සමග පරිපුර්ණ සංගීත සංධ්වනියක් සංරචනය කල පලමු ආසියාතිකයා ලෙස ඉලයරාජා පිළිගැනෙයි. ඔහු මේ සම්පුර්ණ සංධ්වනිය දවස් 13කින් ලියා අවසන් කොට ඇත. ඔහු ට්‍රිනීටි සංගීත විද්‍යාලයෙන් ක්ලැසිකල් ගිටාරය පිලිබඳව ද හදාරා ඇත.
පෞද්ගලික ජීවිතය සහ මුල් අවධිය
ඉලෙයරාජා (මුල් නම ඥාණදේසිකන් විය.) 1943 දී තමිල්නාඩුවේ උපත ලැබීය. ඔහු කුඩාකල සිටම දෙමල ජන සංගීතයට හුරු විය. වයස අවුරුදු 14 දී ඔහු සංචාරක සංගීත කණ්ඩායමකට සම්බන්ධ වූ අතර වසර දහයක් පමණ මෙසේ මුළු දකුණු ඉන්දියාව පුරාම ප්‍රසංග පැවැත්වීය. සම්මානනීය දෙමළ කවියෙකු වූ කන්නදාසන් විසින් ජවහර්ලාල් නේරු සඳහා රචනා කල ශෝක කාව්‍යයක් (Elegy) සඳහා ඉලයරාජා මුල්වරට සංගීතය සම්පාදනය කළේය. 1969 දී මදුරාසියේ මහාචාර්ය ධනරාජ් යටතේ සංගීතය හැදෑරීම ආරම්භ කරන ඔහු බටහිර සම්භාව්‍ය සංගීතයද හැදෑරීය. විශේෂයෙන්ම මෙහිදී සංගීත සංරචන සිද්ධාන්ත වන Counterpoints සහ වාද්‍ය සංගීතය පිලිබඳ ඔහුගේ අවධානය යොමු විය.
1970 දශකයේදී ඔහු සංගීත කණ්ඩායම් වල ගිටාර් වාදකයෙක් ලෙස කටයුතු කළේය. සලීල් චෞද්රි වැනි සිනමා සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ගිටාරය, කීබෝඩ්, සහ ඕගන් වැනි සංගීත භාණ්ඩ වාදනය කළේය. කන්නඩ සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙක් වූ ජී.කේ. වෙන්කටේෂ් යටතේ සහය සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස චිත්‍රපට 200ක පමණ කටයුතු කළේය. මෙහිදී වෙනකටේෂ් විසින් නිර්මාණය කරන ලද සංගීතමය ආකෘති වාද්‍ය වෘන්දය සමග සංගීතවත් කලේ ඉලයරාජා ය. මෙසේ වෙන්කටෙෂ් යටතේ වැඩ කරමින් ඉලයරාජා බොහෝ දේ ඉගෙන ගත්තේය.මේ අවධියේදී ඔහුගේම සිනමා පසුබිම් සංගීත රචනා කරන්නට පටන් ගත්තේය.
සිනමා සංගීතය
1975 දී චිත්‍රපට නිෂ්පාදක පංචු අරුන්චලම් විසින් පළමු වරට ‘අන්නක්කිලි’ චිත්‍රපටය වෙනුවෙන් ගීත හා සංගීතය නිර්මාණය කිරීම සඳහා ඔහුව පත් කරන ලදී. චිත්‍රපට සංගීතය සඳහා ඉලයාරාජා නූතන ජනප්‍රිය චිත්‍රපට සංගීත ශිල්ප ක්‍රම යොදා ගත්තේ දෙමළ ජන සංගීතය බටහිර සංගීතය සමග සංයෝජනය කරමිනි. ඉලේයරාජා ඉන්දියානු සිනමා පසුබිම් සංගීතයට විශාල බලපැමක් කළේය. 1980 දශකයේ මැද භාගය වන විට දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉලේයාරාජා ස්ථාපිත විය. එසේම ඔහු කන්නදාසන්, වාලි, විරමුත්තු, ඕ. එන්. වී. කුරුප්පු, සෙරකුමාරන් තම්පි, වෙටුරි සුන්දරාරාම මූර්ති, අචාරියා ආත්‍රියා, සිරිවානාලා සිටරාමසෙට්‍රි, චි. උදය ශංකර් සහ ගුල්සාර් යන කවියන් සහ ගීත රචකයන් ද, භාරතීජා, එස්. එම්. මුතුරුමංග, ජේ. මහේන්ද්‍රන්, බාලූ මහේන්ද්‍ර, කේ. බාලචන්ද්‍ර, මනි රත්නම්, සත්‍යාන් ඇන්තිකක්කඩ්, ප්‍රියදර්ශන්, ෆසීල්, වම්සි, කේ. විෂ්වනාත්, සිංගේටින් ශ්‍රීනිවාස, රාවෝ බලා, ශංකර් නග් සහ ආර්. බෝල්කි වැනි අධ්‍යක්ෂ වරුන් සමගද ඔහු කටයුතු කර ඇත.
ඉලේයරාජා ඉන්දියානු සිනමා සංගීතය තුළ බටහිර සම්භාව්‍ය සංගීත හාමනි සහ තත් වාද්‍ය භාණ්ඩ ක්‍රමශිල්ප භාවිතා කරන ලද මුල්ම ඉන්දියානු චිත්‍රපට සංගීත සංරචකයන්ගෙන් කෙනෙකි. මේ හරහා චිත්‍රපට සඳහා සිනමාත්මක සංගීතයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි විය. ඔහුගේ තේමා සහ පසුබිම් සංගීත, ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයින් අතරරේ ප්‍රශංසාවටත්, අැගයීමටත් ලක්විය. ඉන්දියානු සිනමා සංගීතය, ඉලෙයරාජා ගේ විවිධ සංගීත විධික්‍රම, පටිගතකිරීමේ තාක්ෂණික ක්‍රම සහ විවිධාකාරයේ සංගීත ශෛලීන් ආදියෙන් පෝෂණය විය.
සංගීතවේදී පී. ග්‍රේන් පවසන පරිදි, ඉලේයාරාජාගේ “විවිධ සංගීත ශෛලීන්ගේ ගැඹුරු අවබෝධය, ඒකීය, සංගතවාදී සංගීත ප්‍රකාශයන් තුළ විවිධාකාර සංගීත යෙදුම් සමග ඒකාබද්ධ සංගීත නිර්මාණයක් කිරීමට ඔහුට හැකියාව ලැබී ඇත”. ඉලයරාජා විසින් ඉන්දියානු සිනමා කෘති සඳහා ගීත නිර්මාණය කිරීමේදී
Afro-tribal, Bossa Nova, Dance Music (උදා- Disco), Doo-wop, Flamenco, Acoustic Guitar-propelled Western, Folk, Funk, Indian classical, Indian folk/traditional, Jazz, March, Pathos, Pop, Psychedelia and Rock and Roll වැනි සංගීත ෂානරවල ආභාසය ලැබීය. මෙම ප්‍රභේද සහ බටහිර, ඉන්දියානු ජන හා කර්ණාටක සංගීත සම්ප්‍රදායයන් අතර අන්තර් සම්බන්ධතා ඇතිකිරීම හරහා සම්භාව්‍ය රසිකයා මෙන්ම ඉන්දියානු ජනනාද මූලාශ්‍ර ඇසුරු කිරීම නිසා ග්‍රාමවාසී රසිකයන්ද ආමන්ත්‍රණය කිරීමට ඔහුගේ සංගීතය සමත්ය. ඉලේයරාජා චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කිරීමේදී සෑම විටම ධාවනය වන චිත්‍රපටයේ කථා රේඛාව සමඟ ගැලපෙන ලෙස සංගීතය නිර්මාණය කරනු ලබන අතර, එසේ කිරීමෙන් ප්‍රේෂකයන්ට හොඳින්ම කතාව ග්‍රහණය කිරීමට සංගීත ආධාරකයක් ලෙස ක්‍රියාකරයි. ඉලේයරාජා සිනමා සංගීතයේදී සංකීර්ණ සංගීත සංරචන ක්‍රමවේදයන් යොදා ගත්තද, නිරායාසයෙන් මතුවන ස්වර මාධූර්යයෙන් අනූන තනු නිර්මාණ හරහා ඔහුටම අනන්‍ය ක්‍රමවේදයකට රසිකයා ග්‍රහණය කරගැනීමට ඔහු සමත්ය.
ඉලේයරාජගේ සංගීතය, බටහිර හා ඉන්දියානු සංගීත භාණ්ඩ සහ සංගීත තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරයි. ඔහු සින්තසයිසර්ස්, විද්යුත් ගිටාර් සහ යතුරු පුවරු, ඩ්‍රම් යන්ත්‍ර, රිදම් බොක්සස් සහ MIDI වැනි ඉලෙක්ට්‍රෝනික සංගීත භාණ්ඩ භාවිතා කරන අතර වීණා, වේනු, නාදේස්වරම්, ඩෝල්, මෘදංගම් සහ තබ්ලා වැනි ඉන්දියානු සංගීත භාණ්ඩත්, සැක්ස‍ෆෝන්, බටනලා වැනි බටහිර සංගීත භාණ්ඩත් සිනමා සංගීතයේදී බහුල වශයෙන් භාවිතා කරයි.
ඔහුගේ ගීත වල බේස් පරාසය ගතික වෙයි. එනම් ඉහළ පහළ යෑම ගතික ආකාරයකට සිදුවෙයි. විශේෂයෙන්ම ගීතවල ඉන්දියානු ජන සංගීතයේ හෝ කර්ණාටක බලපෑම් දක්නට ලැබේ. ඔහුගේ ගීත රාජ්කුමාර්, ටී.එම්. සෞන්දරරාජන්, කේ.ජේ. යේසුදාස්, එස්. පී. බාලසුබ්‍රමනියම්, ආශා බෝස්ලේ, ලතා මංගේෂ්කාර්, චිත්‍රා, වාසුදේවන්, කවිතා ක්‍රිෂ්ණමූර්ති, හරිහරන්, උදිත් නාරායන්, සහ ශ්‍රියා ගෝෂාල් වැනි ඉන්දියාවේ ප්‍රකට ගායන ශිල්පීන් විසින් චිත්‍රපට සඳහ ගායනා කොට ඇත. ඉලෙයරාජා විසින් චිත්‍රපට සඳහා ගීත 400 කට වඩා ගායනා කර ඇත. ඔහු දෙමල භාෂාවෙන් ගීත කිහිපයක් ද ලියා ඇත.

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...