Monday 16 July 2018

සළරූ අදියුරු වත - ආචාර්ය ධර්මසේන පතිරාජ



  දෘෂ්ටියේ අඛණ්ඩතාවය නමැති සිද්ධාන්තයට අනුව බිහිවන චලන චිත්‍රය විකාශනය වී චිත්‍රපටය බිහිවන්නේ 19 වන සියවසේ අගභාගයේදීයි. එසේ බිහිවන චිත්‍රපටය, සිනමාවක් ලෙස හුනාගන්නේ ලූමියේ සහෝදරයන් විසින් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ Workers Leaving the Lumière Factory in Lyon නමැති කෙටි චිත්‍රපටය 1895 දෙසැම්බර් 28 දින මුදල් අයකරමින් ප්‍රක්ෂේපණය කිරීමත් සමගය. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසද වර්ධනය වන අතර ලෝකයේ බොහෝ රටවල විවිධ සිනමා ෂානර ඇතිවී ඒ ඒ රටවල් වලට අනන්‍ය ජාතික සිනමාවන් බිහිවිය.
                             ලංකාවේ සිනමා ප්‍රදර්ශන ඉතිහාසය 20 වන සියවසේ මුල් භාගය තෙක් දිවයන අතර ශ්‍රී ලාංකිකයන් චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රවිශ්ට වන්නේ විසිවන සියවසේ දෙවෙනි දශකයේදී පමණ වේ. 1947 දී ප්‍රථම කතානාද චිත්‍රපටය නිෂ්පාදනය කළද ඉන්පසු දශකයක් පමණ වනතුරු බිහිවූ චිත්‍රපට බහුතරයක් සිනමා භාෂාව හා ව්‍යාකරණය අතින් ඉතා දුප්පත්, කලාත්මක නොවූ හුදු ඉන්දියානු අනුකරණවාදී වාණිජ චිත්‍රපට විය. මෙරට සිනමාවට කලාත්මක ප්‍රවේශයක් එක්වන්නේ ලෙස්ටර් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයෙනි. ඉන්පසුව බිහිවූ කලාත්මක චිත්‍රපටවලට සහ බොහෝ චිත්‍රපට කරුවන්ට ‘රේඛාව’ චිත්‍රපටය උත්තේජනයක් සැපයූ බව පෙනෙයි. මෙසේ බිහිවූ චිත්‍රපට බහුතරයකට වස්තුබීජ වූයේ රදළ හෝ මධ්‍යම පාන්තික ජීවිත, ගැමි සුන්දරත්වය හා නිර්මලත්වය සහ නගරයේ සංකරකම්, ජඩකම් අතර ගැටුම ආදියයි. රංජිත් ලාල් ගේ ‘නිම්වළල්ල’ වැනි සිනමා පටයක නාගරික තාරුණ්‍යය නිරූපණය කළද, නාගරික පහළ මධ්‍යම පාන්තික තරුණයා අත්විි අසහනය, රැකියා විරහිතභාවය, දරිද්‍රතාවය වැනි ප්‍රශ්න මුල් වරට දේශපාලනික දෘෂ්ටියකින් සාකච්ඡා කරනු ලැබූයේ 1974 දී ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ ය. එහිදී ඔහු යොදාගනු ලැබූ සිනමා භාෂාව තාරුණ්‍යයේ රිද්මයට ගැලපෙන පරිදි සකස් කරගත්තත් විය. ඉතාලියානු නව තාත්විකවාදයේ සහ ප්‍රංශ නව රැල්ලේ සිනමාකරුවන් භාවිතා කරනු ලැබූ සිනමාත්මක උපක්‍රම සිහිගන්වන සිනමා භාෂාවක් පතිරාජයන් මෙහිදී යොදාගෙන තිබෙයි. පතිරාජ දේශපාලනික සිනමාකරුවෙකු වශයෙන් හුනාගනු ලබන්නේ අහස් ගව්ව චිත්‍රපටයෙනි. එහිදී ඔහු යම් වාමවාදී නැඹුරුවක් සහිතව තාරුණ්‍යයේ ගැටළු නිරූපණයට උත්සාහ ගන්නේ වාමාංශික දේශපාලනය හා බැුනු තරුණ නැගිටීමකට ටික කලකට පසුවය.
        1978 දී ඔහු අධ්‍යක්ෂණය කරනු ලැබූ  ‘බඹරු ඇවිත්’ සිනමා පටය ඔහුගේ අග්‍රකෘතිය ලෙස බොහෝ විචාරකයන් අදහස් දක්වා තිබෙයි. කල්පිටිය ප්‍රදේශයේ ධීවර ගම්මානයක සමාජ පන්ති අතර ඇතිවන අරගලය ඒ හා බැුණු දේශපාලනය මෙන්ම වාමාංශික දේශපාලනයේ පොදු සමාජ වලංගුභාවය ප්‍රශ්න කරන සිදුවීම් ආදිය සාර්ථක ලෙස සිනමාත්මකව ඉදිරිපත් කිරීමට එහිදී ඔහු සමත් විය. මෙම නිර්මාණයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයද ගත හැකිය. මුහුද ආශ්‍රිත ධීවර ජනතාවගේ ජීවන රිද්මයන් මනාලෙස ග්‍රහණය කරගත් සංගීත රටා මෙන්ම මුහුදේ රළ නැගෙන රිද්මයට අනුකූල වන සංගීතමය සහ ගායන උපක්‍රම මෙහි යොදාගෙන තිබෙයි. මෙම සිනමා කෘතියේ එන ‘උදුම්බරා හිනැහෙනවා’ ගීය සිනමා ගීතයේ එතෙක් පැවති ආකෘති බිහළ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම සිනමා ගීතයක් ලෙස හුනාගත හැකිය. මෙහි සංගීතය නිර්මාණය කිරීමේදී කේමදාසයන්ට ක්ලෝඩ් ඩෙබුසිගේ ධාරණවාදී සංගීත සිද්ධාන්ත(Impressionist Music) බලපා ඇතිබව පෙනෙයි. මෙම සිනමා කෘතියේ සංගීත සංරචනය කේමදාස සහ පතිරාජ යන දෙදෙනාම සවිඥාණිකව කළා මිස අහඹු ලෙස සිදුවූ දේවල් නොවන බව පැහැදිලි ය. පතිරාජගේ නිර්මාණ බහුතරයක සංගීතය රචනා කළේ කේමදාසයි. ඒ සෑම නිර්මාණයකම පාහේ පතිරාජගේ ප්‍රකාශනය තීව්‍රවන අයුරින් සංගීතය යොදාගෙන තිබේ. මේ අනුව පතිරාජට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමා සංගීතය පිළිබව පැවති අවබෝධය පැහැදිලි වෙයි.
        පතිරාජ ‘පාරදිගේ’ චිත්‍රපටය 1980 දී නිර්මාණය කරනු ලබන්නේ අජිත් තිලකසේනයන්ගේ තිරපිටපතකට අනුවයි.  මෙහිදී ඔහු නැවතත් තාරුණ්‍යයේ ප්‍රශ්න සාකච්ඡා කරනු ලබන්නේ නන්නත්තාර වූ නාගරික තරුණ පරපුර නිරූපණය කරමිනි. මෙහි ප්‍රධාන චරිතය වන, අසම්මත චර්යාවන් සහිත චන්දරේගේ සමාජයීය මෙන්ම මානසික ගැටුම් විදාරණයට සුදුසු රූප භාෂාවක් සකස්කර ගන්නා පතිරාජ මුල මැද අග රහිත එනම් රේඛීය නොවන අයුරින් සිනමා ආඛ්‍යානය ගොඩනගනු ලබනවා.
                     ‘සොල්දාදු උන්නැහේ’ යනු උමතු සොල්දාදුවෙක් සහ තවත් චරිත කිහිපයක් අතර එක්දිනක් තුළ සිදුවන සිදුවන සිදුවීම් දාමයක් සහිත ප්‍රබල දේශපාලන විවේචනයක් අන්තර්ගත සිනමා කෘතියකි. දේශපාලන විද්‍යාවේ සාකච්ඡා කරනු ලබන මූලික සිද්ධාන්තයක් වන ‘පරමාධිපත්‍යය’ පිළිබව සාමාන්‍ය ජනතාවගේ අවබෝධය මෙහිදී උත්ප්‍රාසාත්මකව ඉදිරිපත් කරන අයුරු අපූරුය. බරපතල දේශපාලන සංකල්ප සහ පොදු ජනතාව අතර පවතින දුරස්ථ ස්වභාවය පතිරාජ යොදාගන්නා පහත සංවාදයෙන් මනාව පැහැදිලි වෙයි.
සොල්දාදු උන්නැහේ - ආණ්ඩුව කියන්නෙ අපි තමයි
ලිලී මහත්තයා - තමුසෙ පරමාධිපත්‍යය පටලවාගෙන. ආණ්ඩුව කියන්නෙ අපි නෙවෙයි. පරමාධිපත්‍යය
                        කියන්නෙ මොකක්ද කියලවත් තමුසෙ දන්නෙ නෑ.
සොල්දාදු උන්නැහේ - පධිපත්‍ය?
ලිලී මහත්තයා - පරමාධිපත්‍ය..පරමාධිපත්‍ය.. පරමාධිපත්‍ය කියන්නෙ ආයුධ පාවිච්චි කරන මිනිස්සුයි   
                        ආයුධයි..
ගණිකාව - හ හහ් හා..(ගණිකාව සිනාසෙයි)
සොල්දාදු උන්නැහේ - ඇයි උඹ හිනාවෙන්නෙ...පරමාධිපත්‍ය දන්නැද්ද උඹ?
ගණිකාව - මං නං හිතන්නෙ ඒක මමවත් නොදන්න අලි කුණුහබ්බයක් කියල..
                                         කතාවේ ස්වභාවය අනුව යම් මන්දගාමී රිද්මයකින් ගලායන මෙම සිනමා පටය සිනමා භාෂාවෙන් පොහොසත් කලාත්මක චිත්‍රපටයක් වුවද එහි දේශපාලනික සහ සිනමාත්මක අගයයන් වටහා ගැනීමට එකල ප්‍රේක්ෂකයාට හැකිවූයේද යන්න ගැටළුවක් බව පෙනී යන්නේ ලැබුණු අඩු ප්‍රේක්ෂක අවධානය නිසාය.
                 පතිරාජයන් යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කරන අතරතුර ලැබුණු ඉල්ලීමකට අනුව අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘පොන්මනි’ (1978) නම් දමිල චිත්‍රපටය සිංහල සිනමා අධ්‍යක්ෂකවරයෙකු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ප්‍රථම දමිල චිත්‍රපටය වෙයි. එම ප්‍රවණතාවය දිගින් දිගටම පැවතියේ නම් ජාතීන් අතර සුහදතාවය වර්ධනය වීමට සිනමා කලාවෙන් කළ හැකිව තිබූ විශාල කාර්යයභාරය ඵලදායක වීමට ඉඩ තිබිණි.
          ඔහු වර්ණ සිනමාවට පිවිසෙන්නේ 1994 ‘වාසුලි’ චිත්‍රපටයෙන් වුවද එය තිරගත වූයේ නැත. ඒ අනුව 2001 තිරගත කළ ‘මතුයම් දවස’ ඔහුගේ ප්‍රථම වර්ණ සිනමා පටය වෙයි.  ‘සක්කාරං’ සහ ‘ස්වරූප’ ඔහුගේ අවසාන සිනමාපට අතරවෙයි. ෆ්‍රාන්ස් කෆ්කාගේ Metamorphosis නවකතාව ඇසුරින් නිර්මාණය කරනු ලැබූ ‘ස්වරූප’ ඔහු නිර්මාණය කළ හොම සිනමා කෘතිය බව වරක් පතිරාජයන් පවසා තිබෙයි.
    ඉහත දැක්වූ වෘතාන්ත සිනමා කෘතිවලට අමතරව ඔහු ‘සතුරෝ’ ඇතුළු කෙටි චිත්‍රපට කිහිපයක්ද, In search of a Road, Putting the Last First, Road to Sampur, Shelter Million Families, වෙරළ, අුරෙන් එළියට වැනි වාර්තා චිත්‍රපටද අධ්‍යක්ෂණය කොට ඇත.
      පතිරාජයන් සිනමාවට පමණක් නොව රූපවාහිනියට ද විශිෂ්ට සම්ප්‍රදානයන් එක් කළේය. සිනමාවෙන් ඔහු ලද පරිචය හා ශික්ෂණය රූපවාහිනී නාටකයට රැගෙන ඒමට ඔහු උත්සාහ කළේය. එසේ නිර්මාණය වූ රූපවාහිනී නාටක අතරින් මුල්ම නිර්මාණය වූයේ ‘ගුලෙන් එතෙරට’(1985) ටෙලිනාට්‍යයි. මීට අමතරව ඔහු නිර්මාණය කළ ‘මායා මන්දිර’(1986), ‘ඇල්ල ල වලව්ව’(1988), ‘පුර සක්මන’(1989), ‘කඩුල්ල’(1992), ‘සුබ අනාගතයක්’(1993), ‘දුර්ගාන්තය’(1996) වැනි නාට්‍ය ප්‍රේක්ෂක ජනාදරයට පත්විය.
     දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වලව්වක අවසාන පුරුක වන වලව්වේ උරුමකරුගේ ඛේදජනක ඉරණම නිරූපණය වන ‘ඇල්ල ල වලව්ව’ ටෙලිනාට්‍යය මහාචාර්ය නිමල් සේනානායකගේ රචනයකි. භීතිය, සංත්‍රාසය, කුතුහලය සපිරි මෙම නාට්‍යයට කේමදාසයන් නිර්මාණය කළ සංගීතය ටෙලිනාට්‍ය සංගීතයේ කඩඉමකි.
          ඇන්ටන් චෙකොෆ්ගේ ‘බල්ලා කැටුව යන කාන්තාව’ කෙටිකතාවේ අනුවර්තනයක් ලෙස ‘පුර සක්මන’ ටෙලිනාට්‍යය නිර්මාණය වූ අතර ‘දුර්ගාන්තය’ එමිලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස්’ නවකතාවේ අනුවර්තනයකි. චාල්ස් ඩිකන්ස්ගේ ‘ද ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්’ නවකතාවේ අනුවර්තනයක් ලෙස ‘සුබ අනාගතයක්’ ටෙලිනාට්‍යය නිර්මාණය විණි.
   පතිරාජයන්ගේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය ලෙස බොහෝ විචාරකයන් හුන්වන්නේ ‘කඩුල්ල’යි. තිලක් ජයරත්නයන් මෙහි තිරපිටපත රචනා කළේය. එම තිරපිටපත ජයරත්නයන් විශිෂ්ටත්වයට පත් කරනු ලැබීය. විසිවන සියවසේ මුල් භාගයේ එනම් යටත්විජිත සමයේ මෙරට ධනපති පන්තියේ බිහිවීම සහ විකාශනය මෙහි නිරූපණය කෙරෙයි. කාත් කවුරුවත් නැති කොච්චි(කොචින්) සම්භවයක් සහිත කුරුතේරිස්, කළු ග ආශ්‍රිතව දිවි ගෙවූ පතල් කම්කරුවෙකි. ඔහු සේවය කරන පතලේ හිමිකරු වන කංකානම් මහතාගේ දියණිය විවාහ කරගන්නා කුරුතේරිස් මිනිරන්, රබර් සහ මත්පැන් වෙළාමෙන් හිටි අඩියේම පහළ සමාජ තත්වයක සිට ඉහළ සමාජ පංතියක් දක්වා වන කඩුල්ල පැන ගනියි. සුදු පාලකයන්ගේ පිළිගැනීම, තාන්න මාන්න ආදිය ලබාගැනීම සහා ක්‍රිස්තියානි ධර්මය වැළගන්නා ඔහු සිය දරුවන්ද බටහිර සංස්කෘතියට අනුව හැඩගස්වා බටහිර අධ්‍යාපනය ලබාදෙයි. අවසානයේදී සිය බාල පුත්‍රයා විදේශ අධ්‍යාපනය හමාරකොට ලංකාවට පැමිණෙන්නේ දේශීයත්වය පිළිබ හැීමෙන් යුතුවය. ඔහු මෙරටට පැමිණ දේශපාලනය කිරීමට පටන්ගන්නා අතර පියාගේ බටහිර ලැදි ප්‍රතිපත්ති බැහැර කොට බෞද්ධාගම වැළගනියි. මෙය හුදු ප්‍රබන්ධ කතාවක් නොවේ. නිදහසට පෙර සහ පසු බලයට පත්වූ දේශපාලකයන් බහුතරයකගේ පෞද්ගලික ඉතිහාසය මෙවැනි සිදුවීම් වලින් ගහණ බව රහසක් නොවෙයි. ‘කඩුල්ල’ වැනි විශිෂ්ට සමාජ දේශපාලනික පර්යේෂණයකට පතිරාජයන් අතගසන්නේ ඔහු සතු විචක්ෂණශීලී රූප භාෂාවේ දැනුම මනා ලෙස කළමනාකරණය කරගනිමිනි. එය වර්තමාන ටෙලිනාට්‍යකරුවන්ටද ගුරුකොට ගතහැකි අග්‍රකෘතියක් බවද පැවසිය යුතුය.
        සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, තිරකතා රචකයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු, ග්‍රන්ථ පරිවර්තකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, ගීත රචකයෙකු, විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු, දෙස් විදෙස් සිනමා උළෙලවල්වල ජූරි සභිකයෙකු වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ භෞතික කාය මැකී ගියද, ඔහුගේ නිර්මාණ කාය තවත් සියවස් ගණනාවක් පැවතෙමින් මෙරට කලාවට මෙන්ම කලාකරුවන්ට මං පෙත් හෙළිකරනු ඇත.

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...