Monday 16 July 2018

කලාකරු කතාබහ - කෞෂල්‍යා ප්‍රනාන්දු


ප‍්‍රශ්නය - ඔබ මෙවර සාක් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය වශයෙන් සම්මානයට පාත‍්‍රවෙනවා.
පිළිතුර - ඔව්. ඇත්තෙන්ම මට ඒ සාක් සම්මානය පිළිබඳ යම් හැඟීමක් තිබෙනවා. මීට කලින් චිත‍්‍රපට උළෙලවල් වලදී මා ලද අත්දැකීම් සහ විවිධ අගතීන් නිසා යම් කළකිරීමක සිටියා. සාක් සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය රටවල් තුනක විනිශ්චය කරුවන්ගෙන් සමන්විත වුණා. විනිශ්චයට ලක් කළ චිත‍්‍රපට අතර මසාන් වැනි ඉතා ම හොඳ චිත‍්‍රපට තිබුණා. මාව සම්මානයට තෝරගත්තු විනිශ්චය මණ්ඩලයේ රුසියානු ජාතික සභාපති තුමා කිව්වේ මම චිත‍්‍රපටය ඇතුලේ පුළුල් පරාසයක රඟපා ඇති බවයි. ඔවුන් මාව පෞද්ගලිකව අඳුන්න්නේ නැහැ. ඔවුන් තනිකරම විනිශ්චය ලබාදුන්නේ දක්ෂතාව මත පමණයි. එතනදි විනිශ්චය මණ්ඩලය බැලූවේ මේ නිළිය ඇය රඟපාන චිත‍්‍රපටයට කෙතරම් සාධාරණයක් කළාද? දායකත්වයක් ලබාදුන්නාද කියන එකයි.

ප‍්‍රශ්නය - ඔබ ලංකාවේ සිනමා සම්මාන උළෙලවල් වලින් ලබාදෙන විනිශ්චයන් ගැන සෑහීමකට පත් වෙනවද? නැතිනම් ඒ පිළිබඳව යම් විවේචනයක ඉන්නවද?
පිළිතුර - හිරු, දෙරණ වැනි සම්මාන උළෙලවල් වලදි මම හිතුවෙ නැහැ මට සම්මාන ලැබෙයි කියලා. මම එහෙම නොලැබුණක් එය වැරැුද්දක් හැටියට දකින්නෙත් නැහැ. මොකද ඒවා වාණිජ පරමාර්ථ වලින් පවත්වාගෙන යන ආයතනනේ. හිරු සම්මාන උළෙල ගත්තොත් ඒක තරු සංකල්පය පදනම් කරගෙන බොලිවුඞ් තරු පවා ගෙනැත් කරන දැවැන්ත සම්මාන උළෙලක්. එවැනි සම්මාන උළෙළක හොඳම නිළිය සම්මානය මට ලැබෙයි කියල මම කොහොමවත් හිතුවෙ නැහැ. මම හිතුවෙ ඒවයේදි අලංකාරත්වයට, ආකර්ශනීයත්වයට(ඨක්පදමරදමි* මුල් තැන ලැබෙයි කියායි. නමුත් දෙරණ සහ හිරු සම්මාන උළෙලවල් දෙකේම මට හොඳම නිළිය සම්මානය ලැබුණා.  මේ සම්මාන උළෙලවල් දෙකේම විනිශ්චය මණ්ඩල වල ඉන්දියානු අධ්‍යක්ෂකවරුන්් සිටියා. කෙසේ නමුත් මෙවර පවත්වපු සරසවිය සහ ජනාධිපති සම්මාන උළෙලවල් වලදී මගේ රංගනය ඇගයීමට ලක්වෙන්නෙ නැහැ. මට තිබෙන ප‍්‍රශ්නය තමයි ඇයි අපිව එහෙම හෑල්ලූ කරලා දාන්නෙ කියන එක.

ප‍්‍රශ්නය - සිනමා කෘතියක නිරුවත ප‍්‍රදර්ශනය කිරීම කියන කාරණයෙදි ඔබ එය දකින්නේ සංස්කෘතිකවද නැතිනම් සිනමාත්මකවද?
පිළිතුර -අනිවාර්යයෙන්ම සිනමාත්මක ඇසකින් තමයි අපි ඒ දිහා බැලිය යුත්තේ. නමුත් ප‍්‍රධාන වශයෙන්ම සැළකිිය යුතු කාරණය තමයි පිටපතට එය අත්‍යාවශ්‍යද කියන එක. අනික තමා නළුවා හෝ නිළිය එය රඟපාන්න කැමතිද කියන කාරණය. ඉන්පස්සෙ එන ගැටලූව තමා ඒ නළුවාට හෝ නිළියට මේ සමාජයේ පවතින්න පුළුවන්ද කියන කාරණය. සමහර අධ්‍යක්ෂකවරු හිතනවා නිරුවත අත්‍යාවශ්‍යයි කියලා. නමුත් අපේ රටේ කලාකෘතියක තිබෙන නිරුවත කලාත්මක ලෙස රසවිඳින්න පුළුවන් සමාජ පසුබිමක් හෝ බුද්ධිමත් පේ‍්‍රක්ෂකාගාරයක් තවම ගොඩනැගිලා නැහැ. ඒනිසා ඒ රඟපාන පුද්ගලයන්ට සමාජයේදි විවිධ අපහසුතාවන්ට මුහුණදෙන්න වෙනවා.

ප‍්‍රශ්නය - ලංකාවේ සිනමාවේ අර්බුධයක් ගැන බොහෝ අය කතාවෙනවා. ඔබ හිතන හැටියට අපේ සිනමාව ඇතුලේ තිබෙන ගැටලූ මොනවද?
පිළිතුර - අපේ රටේ සිනමාකරුවන්ගේ නිර්මාණාත්මකභාවය පිළිබඳ ගැටලූවක් ඇතැයි මම හිතන්නෙ නැහැ. සමීර රංගන, ඩෙනිස් පෙරේරා, ජගත් මනුවර්ණ, වින්දන ආරියවංශ, චින්තන ධර්මදාස වැනි සිනමාව ගැන විවිධ පර්යේෂණ කරන තරුණ නිර්මාණකරුවන් අපට සිටිනවා. සමහර තරුණ නිර්මාණකරුවන්ට මුදල් යොදවන්න අය නැති නිසා ඔවුන් විශාල අර්බුධයක ඉන්නවා. අඩුම ගණනේ බැංකු ණයක් ලබා දෙන්න පුලූවන් නම් එය ඔවුන්ට විශාල පිටිවහලක් වේවි. සිනමා අධ්‍යාපනය වෙනුවෙන් අරමුදලක් පිහිටුවලා එයින් විදේශ ශිෂ්‍යත්ව දෙන්න පුලූවන් සිනමාව හැදෑරීමට. සියල්ලටම කලින් පහසුකම් සහිත සිනමා ශාලා ටිකක් ඇති කරලා දැනට තිබෙන චිත‍්‍රපටි පෙන්වන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ප‍්‍රශ්නය - ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලයේ වර්තමාන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
පිළිතුර - මම හිතන්නේ එය ඉතාම හොඳින් කෙරීගෙන යනවා කියලයි. මීට කලින් තිබුණු පරිපාලනයත් එක්ක ගත්තාම විශාල වෙනසක් සිදුවී තිබෙනවා. ‘බොරදිය පොකුණ’ චිත‍්‍රපටය අවුරුදු දොළහක් හිරවෙලා තිබුණා. ‘අක්ෂරය’ට මොකද වුණේ. පහුගිය කාලෙ එහෙම චිත‍්‍රපට විශාල සංඛ්‍යාවක් හිරවුණා. වර්තමානයේදි චිත‍්‍රපට වර්ගීකරණයට ලක්කිරීමක් මිසක් වාරණයක් හෝ ප‍්‍රතික්ෂේප කිරීමක් දකින්න නැහැ.

ප‍්‍රශ්නය - අපේ රටේ 70,80 දශකයන් වල සංස්කෘතික සංකේකයක් ලෙස නළුවාගේ භුමිකාව, ඔහුට තිබුණු පිළිගැනීම, ප‍්‍රසිද්ධිය එසේත් නැතිනම් නළුවාගේ පෞර්ෂය වර්තමානය වනවිට විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික විපරිණාමයන් සමග වෙනස් වී තිබෙනවා.
පිළිතුර - ඔව්. එවැනි යම් පරිවර්තනයක් සිදුවී ඇති බවක් පේනවා. නමුත් මම හිතන විදියට නළුවා හෝ නිළිය මූලික කරගත් සිනමාවකට වඩා අපි සිනමාවයි බැලිය යුත්තේ. යුරෝපීය සිනමාව ගත්තොත් ඒකෙදි බලන්නෙ මොකක්ද චිත‍්‍රපටයෙන් කියන්නෙ කියන එක මිසක් කවුද නළුවා කවුද නිළිය කියන එක නෙවෙයි. ඉරාන චිත‍්‍රපට ගත්තොත් අපි දන්නෙ නැහැ ඒ නළුනිළියන් කවුද කියලා නමුත් අපි ඒවා ඉතාම ආශාවෙන් නරඹනවා. අපි යුරෝපීය චිත‍්‍රපට නරඹද්දි පවා බලන්නෙ සිනමා කෘතිය මිසක් නළුනිළියන් නෙවෙයි. නිර්මාණයයි වැදගත්. ෂාරුක් ඛාන් හෝ අමීර් ඛාන් හෝ ප‍්‍රසිද්ධ නළුනිළියන් ඉන්න නිසාද අපි චිත‍්‍රපට නැරඹිය යුත්තේ?

ප‍්‍රශ්නය - සිනමා පටවල අපි ඔබව දකින්නෙම ග‍්‍රාම්‍ය පීඩිත ස්ත‍්‍රිය නැතිනම් ලිංගික සූරාකෑමට ලක්වන ස්ත‍්‍රිය වැනි සීමිත භුමිකාවන්වල පමණයි.  එවැනි චරිතවලට සීමාවීමට වඩා චරිතාංග නිළියක් වීමේන් ඔබේ දක්ෂතා වඩාත් හොඳින් ඉදිරිපත් කළහැකියි නේද?
පිළිතුර - එසේ වන්නේ අධ්‍යක්ෂකවරුන්ට තිබෙන පරිකල්පන ශක්තියේ දුර්වලතා නිසායි. ඔවුන් මාව දැක්කේ එකම විදියකට. ඒක සාර්ථකව කෙරුණු නිසා එවැනි චරිතවලටමයි මාව ගන්නේ. එකම වර්ගයේ චරිත ලැබුණත් මම ඒ චරිත තුළ විවිධත්වයකින් යුතුව රඟපෑමට උත්සාහ කළා. එවැනි චිත‍්‍රපටත් ප‍්‍රතික්ෂේප කලොත් මගෙන් රඟපෑම සහ ඒ අභ්‍යාස කිරීම ඈත්වෙනවා.
ප‍්‍රශ්නය - කෞෂල්‍යා ප‍්‍රනාන්දු කිව්වහම අපි දකින්නේ බාහිර රූපය නඩත්තු කරන, නිරූපිකාවක් ලෙස කටයුතු කරන හෝ තාරකා ගුණයෙන් යුතු නිළියක් නෙවෙයි. නමුත් ඔබ ඉන්න ආස්ථානය ඉහළයි.
පිළිතුර - කිසිම ආකාරයකින් බාහිර රූපය නඩත්තු කිරීමට උත්සාහ නොකරන කෙනෙක් හැටියට මම ඇවිත් තිබෙන ගමන ගැන මට සතුටක් තිබෙනවා. එහෙම වෙලාත් චිත‍්‍රපට දොළහක පමණ ප‍්‍රධාන චරිතය ලැබීමත් ජයග‍්‍රහණයක්.

ප‍්‍රශ්නය - ඔබේ මෑණීයන් වන සෝමලතා සුබසිංහ මහත්මිය කරගෙන ගිය නාට්‍ය හා රංගකලා කාර්යයන් පවත්වාගෙන යෑමට ඔබෙන් ලැබෙන දායකත්වය කෙබඳුද?
පිළිතුර - අම්මාට අවශ්‍යවුණු ප‍්‍රධානම කාරණයක් තමයි ඇයගේ නාට්‍ය හැකි තරම් පේ‍්‍රක්ෂකයින් ළමයින්ට ඉදිරිපත් කිරීම. අපි එය හැකි උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. අම්මාගේ තිබුණා දැක්මක් ළමුන්ව නිර්මාණකරණයට යොමුකරන්න. පාසලේදි නොලැබෙන, ළමුන් කැමති දේ ළමුන් කැමති විදියට කිරීමට නිදහසේ කරන ක‍්‍රියාකාරකම්වලට තමා එහිදී අවධානය යොමුවුණේ. එයත් අපි කරගෙන යනවා. මීට අමතරව නළුනිළියන් පුහුණු කිරීම, නවක නිර්මාණකරුවන්ට අතදීම වැනි කටයුතු කෙරෙනවා.

ප‍්‍රශ්නය - වර්තමානයේ ඔබේ කලා කටයුතු සිදුවෙන්නේ කොහොමද?
පිළිතුර - මවගේ රංග කලා පාසලේ සය මාසික රංගන පාඨමාලාවේ කටයුතු කරනවා. ඊට අමතරව ළමයින් සඳහා ක‍්‍රියාකාරකම් පංතිය පවත්වනවා. මා රඟපෑ ප‍්‍රදීප් නිශාන්තගේ ‘වර්ණා’ ටෙලිනාට්‍යය විකාශය වීමට තිබෙනවා. මගේ අම්මා නිර්මාණය කරපු ‘වළස් පවුල’ නාට්‍යයේ පුහුණුවීම් මේ දිනවල කෙරෙනවා. නාට්‍යයක් සහ චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ හැමදේටම මුදල් තමා බාධාව වෙලා තියෙන්නේ. නිෂ්පාදකයෙක් ලැබුණු ගමන් නිර්මාණ කටයුතු ආරම්භ කරනවා.

සාක්ච්ඡාව - අමිත් ලියනගේ

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...