Monday 16 July 2018

මීයැසි විනිස - ත්‍රීෆේස්

     
              පසුගියදා පැවති රොඩ්නි, සමන්, තිරිමාදුර ශිල්පීන්ගේ 'ත්‍රීෆේස්' ප්‍රසංගය නැරඹීමි. ගීත, රංගන, නර්තන ආදී කලාංග කිහිපයක එකතුවක් වූ මෙය සාමාන්‍ය සංගීත ප්‍රසංගයකට වඩා වෙනස් විය. සොකරි, කෝලම්, නාඩගම්, ටීටර් ආදි ගැමිනාටක වල අාභාසය ලද නිර්මාණ මෙන්ම සරල ගීතද ඇතුලත් වූ මෙහි ප්‍රාසංගිතක්වය ඉහළින්ම තිබිණි. සමස්තයක් ලෙස ගත්කල 6/8 තාලයෙන් ගලාගිය ගීත බහුල වීම නිසා යම් ඒකරිද්මික ගතියක් ඇතිවුවද ⁣ඔවුන් තිදෙනාගේ වේදිකාවේ හැසිරීම මේ සියල්ල අකාමකාලූ බව කිව යුතුය. ශිල්පී සමන් ලෙනි්න්ගේ ගායන ප්‍රතිභාව සියල්ලට ඉහළින් කැපී පෙනිණි.
ප්‍රාසංගිකත්වය සහිතව ගීතයක් ඉදිරිපත් කිරීමේ ශඛ්‍යතාවය සෑම ගායකයෙකුට ම පිහිටන්නේ නැත. එයට රංගනය, ගායනය, නර්තනය වැනි විෂයයන් කිහිපයකම හැදෑරීම් අවශ්‍ය වෙයි. අපේ පුරාණ ගැමියා ද මෙවැනි හැකියාවන් රැසකින් යුක්ත වූ බවට සොකරි, කෝලම්, නාඩගම් ආදී ගැමිනාටක සහ ශාන්තිකර්ම විධීන් අධ්‍යයනයෙන් වැටහී යන කරුණකි. අපේ සිංහල ගැමියා ට එක් එක් අවස්ථාවල විවිධ චරිතවලට ආරූඪ වීමේ අරුම පුදුම හැකියාවක් පැවතිණ. ඔහු කුඹුරේදී ගොවියෙකි. ඔහුම ගමේදී වෙදමහත්තයෙකි, ⁣ජෞතිෂ්‍යඥයෙකි. කමතේදී ගායකයෙකි, නර්තන ශිල්පියෙකි, රංගන ශිල්පියෙකි. තොවිල් පොලේදී ගොක් කැ⁣ටයම් ශිල්පියෙකි. ඇඹුම් ශිල්පියෙකි. (මට මහගම සේකරයන්ගේ තුංමං හංදිය නවකතාවේ අබිලිං මාමා සිහිවෙයි) මේ අපූර්ව හැකියාව ඇතිවූයේ සිංහල ගැමි සංස්කෘතිය සතුව පැවති එක්තරා ගුණාංගයක් නිසාය. එනම් වියුක්තය (විෂයයන් එ⁣කිනෙකින් වෙන්කොට හුදෙකලා කිරීම) බැහැර කිරීමත් සමස්තය අගය කිරීමත් යන කාරණයයි. පසුකාලීනව බටහිර අධ්‍යාපන ක්‍රමය සහ සංස්කෘතිය මෙරටට හඳුන්වා දීමත් සමග මේ ගුණය අපේ සංස්කෘතියෙන් ගිලිහී වියුක්තකරණය මුල්බැස ගත්තේ ය. එක් එක් විෂයයන් අනෙකෙන් වෙන් කෙරිණි. වෛද්‍ය විද්‍යාව කලාවෙන්ද, කලාව කෘෂිකර්මාන්තයෙන්ද ආදී ලෙස වෙන්කොට හුදෙකලා විෂයයන් බවට පත් කෙරිණි. මේ එක් එක් විෂයයන් එකිනෙක බැඳ තැබූ හුය බිඳිණි. අද මේ එක් එක් විෂයයන් අපි හුදෙකලා විෂයයන් ලෙස උගනිමු. මේ විවිධ විෂයයන් සතුව තිබූ අන්‍යෝන්‍ය බැඳීම හඳුනා සමස්තය ලෙස ගෙන සියල්ල පිළිබඳ හැදෑරීම් කළ ගැමියා සතුව තිබූ දක්ෂතාවය අද සිංහලයන්(පොදුවේ මෙරට වැසියන්) තුළ නැත. ඔවුන් එක් එක් හුදෙකලා විෂයයන්වල පමණක් ප්‍රවීණතාවය අත්පත් කරගනිමින් සිටියි.
රෝහණ බැද්දගේ, සමන් ලෙනින්, රොඩ්නි වර්ණකුල වැනි ශිල්පීන්ගේ වටිනාකම අපට දැනෙන්නේ මෙැවනි පසුබිමක ය. ඔවුහු අර නූතන සිංහලයා මෙන් එක් විෂයයක පමණක් ප්‍රවීණත්වය අත්පත්කරගත්තෝ නොවෙති. පැරණි ගැමියා මෙන් විෂයයන් කිහිපයක යෙදෙන, සුරුකම් පෙන්වන දුලබ මිනිසුන් වෙති. ඔවුන් දන්නේ ගායනය පමණක් නොවේ, රංගනය, නර්තනය, ආදී කලා මාධයය රැසක ද නිරතවෙන්නෝ ය. ඔවුන් වේදිකාවක ඉදිරිපත් කිරිමක් කරන්නේ නම් බලාසිටින්න ට ප්‍රිය ය. ප්‍රාසාංගික ය. ත්‍රීෆේස් ප්‍රසංගය පුරාවට ද මා දුටුවේ එයයි. මෙවැනි ශිල්පීන් අද අපට වැඩි වැඩියෙන් අවැසි ය. ජය පතමි මගේ සොයුරනි...


No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...