Monday 16 July 2018

මීයැසි විනිස - කන්නේ කලෙයිමානේ සහ අපේ බාලු මහේන්ද්‍ර


     ‘කන්නේ කලෙයිමානේ’ නම් මෙම අතිශය සුන්දර ගීතය ගීතය අඩංගු වන්නේ Moondram Pirai(1982) නම් දමිල චිත්‍රපටයේ ය. එහි සංගීත අධ්‍යක්ෂණය ඉලෙයරාජාගේ වන අතර ගයනු ලබන්නේ ප්‍රවීණ දකුණු ඉන්දියානු ගායන ශිල්පී යේසුදාස් විසිනි. 
               මා කළ ඉල්ලීමක් අනුව අප හිතවත් Saminadan Wimal සොයුරා විසින් මෙම ගීතය සිංහලට පරිවර්තනය කරන ලදි. ඔහුට අප සැමගේ ස්තුතිය පිරිනමමු. 

මගේ නෙත මගේ මුවැත්තිය යොවුන් මයුරිය ලෙස
දුටුවෙමි මම නුඹ
දිවා රැය දකිමි මම නුඹ
දෙවියන්ගෙන් මෙයයි අයදින්නේ
රාරිරාරො ඔ ආරාරිරො -රාරිරාරො ඔ ආරාරිරො

ගොළුබව යනු එක් විදියක සැනසුමකි
දෙවොලෙහි තවත් අයුරක සැනසුමකි
නුඹ ගිරවියෙකි පැටිවියේ ගී ගයනා කෙවිලියකි පැටි
කිමද නොදනියි දෙවියන් කළ කුමන්ත‍්‍රණයකින්
අසරණියක් බවට පත් කළේ දෛවය විසින් 

බැදුණෙමි පෙමින් වැවුවෙමි සිහින
සො`දුරියේ මම මගේ සිත නුඹෙන් පිරවූවෙමි.
නුඹටම ජීවය වූවෙමි අමතක නොකරන් මා කිසිදින
නුඹ නැතිව කුමන සැනසුමක්ද?
නුඹ නොවෙද මගේ අභයස්ථානය
 
          මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ කමලා හසන් සමග ශ්‍රීදේවි ය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බාලු මහෙන්ද්‍රයි. බාලු ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත දකුණු ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු ඉපදී ඇත්තේ 1939දී මඩකලපුව ප්‍රදේශයේ ය. පාසැල් යන අවදියේදීම Bicycle Thieves, The Battleship Potemkin වැනි ප්‍රබල චිත්‍රපට ඔහුට නැරඹීමට හැකිවී ඇති අතර ඒ කාලයේදීම එනම් 1957 දී පාසල් විනෝද චාරිකාවක් යන අතරතුර කිතුල්ගල ප්‍රදේශයේ රූගත කෙරුණු ඩේවිඩ් ලීන් ගේ The Bridge on the River Quai චිත්‍රපටයේ රූගත කිරීම් නැරඹීමට ගොස් තිබෙයි. එයට සහභාගී වීමෙන් පසු සිනමාකරණය පිළිබඳ ඔහුගේ ආශාව ඇතිවී තිබේ. පසුව ඉන්දියාවේ සිනමා හා රූපවාහිනී ආයතනයට(FTII) ඇතුලත් වී විෂය පිළිබඳ වැඩිදුර හදාරා ඇත. එසේම එහිදී ප්‍රංශූවා ටෘෆෝ සහ ජින් ලුක් ගොඩාඩ් වැනි ප්‍රංශ නව රැල්ලේ සිනමාකරුවන්ගේ සිනමා කෘති ඔහුගේ අවධානයට පාත්‍ර වී තිබේ. ඉන් අනතුරුව මලයාලම්, කන්නඩ, දමිල ආදී සිනමා කෘති නිර්මාණය කරමින් දකුණු ඉන්දියානු සිනමාවේ නිරත වන ඔහු 2014 මිය යන විට චිත්‍රපට 20 ක් පමණ නිපදවා තිබිණි. ඔහු සිනමා අධ්‍යක්ෂණයට අමතරව කැමරා අධ්‍යක්ෂණය, පිටපත් රචනය, සංස්කරණය වැනි කාර්යයන්හි ද නිරත වී ඇත.
          පහත වීඩියෝවේ දැක්වෙන ‘කන්නේ කලෙයිමානේ’ ගීතය ගයනු ලබන්නේ ඉන්දියාවේ අද සිටින අතිදක්ෂම ගායන ශිල්පිණියක වන ශ්‍රෙයා ගෝෂාල් විසිනි ඒ
යේසුදාස්ගේ සංගීත දිවියට පනස් වසරක් පිරෙන දින පවත්වනු ලැබූ උපහාර උත්සවයකදී ය. ගීතය ගැයීමට පෙර ඇය ප්‍රවීණ ගායන ශිල්පී යේසුදාස් පිළිබඳ දක්වන අදහස් බලන්න. ඇය ඔහුට දක්වන ගෞරවය කෙතරම්ද? එසේම යේසුදාස් ඇය කෙරෙහි දක්වන නිහතමානී, සුහද, ආදරණීය ප්‍රතිචාරයද අපට පාඩම් උගත හැකි තරම් ය.  

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...