Thursday 19 July 2018

'යොවුන් වියේ ආදරේ' සහ බජව් සංස්කෘතිය

            'බජව්' හෙවත් 'සාජ්ජ' යනු මෙරට පැවති ජනප්‍රිය සංගීත සංස්කෘතියකි. සංගීත ෂානරයකි. විසිවන සියවසේ මුල් අවධියේ සිට නාගරික ප්‍රදේශවලත් පසුව ග්‍රාමීය ප්‍රද්ශවලත් ප්‍රචලිත වී ගිය ⁣මෙම බජව් හෙවත් සාජ්ජ වල වාදනය වූ ප්‍රධාන වාද්‍ය භාණ්ඩ වූයේ ෆුට්බැලෝ සර්පිනාව, ජපන් මැන්ඩලීනය, ⁣තබ්ලාව හෝ ඩොලැක්කය යනාදියයි. මෙය සංගීත සංස්කෘතියක් වූ අතර ඒ වටා උපසංස්කෘතික ලක්ෂණ ද ගොඩ නැගුණි. බජව් යන්න බජාවෝ යන හින්දි වචනයෙන් බිඳී ආවක් ලෙස සැළකෙයි. එහි අර්ථය 'තව එකක්'(One More) යන්න බව කියැවෙයි. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් හවස් යාමයේ ඔවුන්ගේ වෙහෙස මහන්සිය අකාමකා දැමීමට ගීත ගායනය කළ අවස්ථාවල 'බජාවෝ බජාවෝ' යනුවෙන් ප්‍රකාශ කර ඇත.
        බජව් සමග මත්පැන් සමීප සම්බන්ධයක් දක්වයි. මත්පැන් පානය කොට නර්ත⁣නයේ යෙදීම, බෝතල් වලට තට්ටු කිරීම, ප්‍රධාන ගායකයන් සමග සහය ගායනයට දායක වීම වැනි කාර්යයන් වලට විවිධ පිරිස් බජව්ව වටා රොක්වූහ. මේවායේ බොහෝවිට වාදනය වූයේ 6/8 තාලයේ වේග රිද්ම ගීත ය.
        මෙසේ එකල නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාවගේ පොදු විනෝදාස්වාදන මාධ්‍යයක් වූ බජව් හෙවත් සාජ්ජ එකල පැවති අයුරින් අද දක්නට නොලැබේ.
   එම 'බජව්' හෙවත් 'සාජ්ජ' සංස්කෘතියේ පැවති නාද පරිසරය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මෙහි බහුලව දක්නට ලැබෙන ශබ්ද ලෙස සර්පිනාව, ඩොලැක්කය, මැන්ඩලීනය, වේගරිද්ම තාල සහිත ගායනා, සමූහ හෝ අත්වැල් ගායනා, බෝතල්, පිඟන් එකට ගැටෙන ශබ්ද, විසිල් හඬවල්, අත්පුඩි ගසන ශබ්ද, කෑකෝ ගසන ශබ්ද, සතුට ප්‍රකාශ කරන විවිධ හඬවල් ආදිය ඇති බව අපට පෙනී ගිය කරුණකි. මෙම ශබ්ද යොදාගෙන ගීතයක් නිර්මාණය කිරීමේ පර්යේෂණාත්මක කාර්යයට අප අතගැසුවේ ඉන්පසුව ය. 'යොවුන් වියේ ආදරේ' නමින් මේ ඉදිරිපත් කරන ගීතය බිහිවන්නේ එහි ප්‍රතිපලයක් ලෙස ය.
      මෙහි පද රචනා කළේ රෝහණ කැලුම් සිරිසූරිය වන අතර ගායනය ඉමාන් පෙරේරාගෙනි. පටිගත කිරීම දයානන්ද පෙරේරා සහ මිරාන් තරිඳුද, නාද දමනය සහ මුසු කිරීමෙන් මිරාන් තරිඳු ද එක්විය.
     මෙයට වාදනයෙන් එක්වූ මහින්ද බණ්ඩාර(ගිටාර්), තිසර බණ්ඩාර(වයලීන්, මැන්ඩලීන්), මදුසංක රත්නායක(වයලින්), සනත් සතිස්චන්ද්‍ර(වයලින්), මිල්ටන් පීරිස්(රිදම් ගිටාර්), වජිර ප්‍රනාන්දු(බේස් ගිටාර්), වජිර ගෝමස්(කීබෝඩ්), අබේනන්ද(කීබෝඩ්), නිහාල් කලුබෝවිල(ඩොල්කි), ජානක බෝගොඩ(බටනලා), සුජීව දිසානායක(ඔක්ටපෑඩ්) යන සහෘදයන්ටද අපගේ ස්තුතිය හිමිවෙයි. 

-විශේෂ ස්තුතිය-
*සමන් ලෙනින්
*නිලක්ෂි හැලපිටිය
*විමල්ජිත් දොඹගහවත්ත


No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...