Monday 16 July 2018

මීයැසි විනිස - මෂේන්කා


           පසුගිය කාල සීමාවේ සිත් ගත් ගීයක් පිළිබඳ ලියන්න ට සොයා බැලුවත් සිදුවුණේ අපූර්වත්වයක් නැති ඒකාකාරී වචන, ඒක තානමය සංගීත තනු, විවිධත්වයක් නැති සංගීත අධ්‍යක්ෂණ සහිත ගීත ඇසීමෙන් හෙම්බත් වීම පමණයි..මේ අතරේ අැසූ ගීත අතරින් යම් පමණක හෝ වෙනස් රසයක් සහිත ගීතයක් මෙවර මම තෝරගන්න තීරණය කළේ විශේෂයෙන් ම මෙහි ඇති සංගීත භාවිතාව ට මගේ සිත ඇදී ගිය නිසාමයි.
ලොව සුසුම් මියෙන හැන්දෑයාමේ
ඉර ගලින් වැටෙන ගොම්මන් යාමේ
කොහෙද මගේ කුමාරි - මහද දිනුව දයාවි
සයන් ගගේ ශ්‍රියාවි - නැතිද මගේ ප්‍රියාවි
මෂේන්කා

මොස්කව් නගරේ සිංදු කිරිල්ලී

හිමදිය කතරේ පාවි තුරුල්වී
ඉගිල යන්න තටු ලැබුනාදෝ
මෂේන්කා

ක්‍රෙම්ලින් කොටුවේ සැඟව ගියාදෝ

මීවිත බඳුනේ නුඹ ගිලුනාදෝ
පුෂ්කින් උයනේ නැතිද හිඳින්නේ
මෂේන්කා

                    රචනය - Mandawala Rashmika
            සංගීතය / ගායනය - Thisara Bandara

                 සුසුම් මැදින් දවසේ රාජකාරි අතරේ දවස'රින ජනතාවගේ සුසුම් හමාර වන්නේ සන්ධ්‍යාව එළැඹීමත් සමඟ ය. එවැනි ඉර බැස යන සන්ධ්‍යාවක තම අහිමි වූ ප්‍රියාවියගේ මතකයන් ඇසුරෙන් අතීතාවර්ජනයක යෙදෙන පෙම්වතෙකුගේ ආත්ම ප්‍රකාශනයක් ලෙස මෙම ගීය පෙන්වා දිය හැකි ය. මෙම ගීතය ට පසුබිම් වන්නේ රුසියානු සමාජයයි. නිර්මාණකරුවෙකු ට අත්දැකීම් ලැබිය හැකි ආකාර කිහිපයක් පිළිබඳ ව කාව්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙයි. නිර්මාණ කරුවා භෞතික වශයෙන් ලබන අත්දැකීම්, අැසීමෙන්, දැකීමෙන් හෝ කියැවීමෙන් ලබන අත්දැකීම් වශයෙන් මේවා වර්ග කළ හැකි ය. සරච්චින්ද්‍ර මළගිය ඇත්තෝ රචනා කිරීමේදී ඔහු ජපන් සමාජය භෞතික වශයෙන් ස්පර්ෂ කොට තිබෙයි. නමුත් මෙම රචකයා තම නිර්මාණය ට අනුභූතිය සපයා ගන්නේ එක්කෝ කියවීමෙන් හෝ අැසීමෙන් විය හැකි බව උපකල්පනය කළ හැක්කේ ඔහු රුසියානු පරිසරය තුළ භෞතික වශයෙන් සැරිසරා නැති බව මා පෞද්ගලිකව ම දන්නා බැවිනි.
ගීතයේ ඇති දුරවබෝධ වචනවලින් තොර සරල පද මාලාව තුලින් පෙමිවතා තම පෙම්වතිය සමග පෙම්සුව විඳි ස්ථාන පිළිබඳ අතීත මතකාවර්ජනයන් ඇසුරෙන් රචකයා පෙම්වතාගේ විප්‍රලම්භ ශෘංගාරිත හැඟීම ඉස්මතු කිරීමට උත්සාහ දරන බව පෙනෙයි. පෙම්වතා තම ප්‍රියාවිය සමග සැරිසැරූ සයන් ගඟ අසබඩ, ක්‍රෙම්ලින් චතුරශ්‍රයේ, පුෂ්කින් උයනේ සහ මොස්කව් නගරයේ ඇය අද නැත. පෙම්වතා ට අතීත මතකය පමණක් උරුම කොට ඇය සමුගෙන ගොසිනි. නිතර ආදර කතා කියමින්, සිනහසෙමින්, හිමදිය මිදුනු බිමේ සීතලේ තුරුල් වෙමින් ඇය සමග ගත කළ ඒ අතීතය අද සිහිනයක් පමණි. රචකයා මෙහිදී අැයගේ මුඛරිකම දැනවීම සඳහා යොදා ඇති 'සිංදු කිරිල්ලී' යන රූපකය එතැන ට යෝග්‍ය ය. රචකයා ට හිමදිය මිදුනු බිම "හිමදිය කතරක්" වී ඇතැයි රූපකාර්ථවත් ව පවසයි. සාමාන්‍යයෙන් කාන්තාරයක් යනු ජලශූන්‍ය ප්‍රදේශයකි. ඇය නොමැති හිමබිම ඔහුට කාන්තාරයක්මැයි. ඇය නිදහසේ ගැවසුණු මේ ස්ථානවල අද ඇත්තේ සුන්දර මතකයක් ම පමණි. ඇය ඒ මතකයන් තුළ සැඟවී ගොසිනි.
ගීතයේ සංගීත භාවිතාව ගැන ද කතා කළ යුතුම ය. තිසර බණ්ඩාර සංගීතකරණය ට නවකයෙකු වුව ද ඔහු සංගීත පරම්පරාවක නවත ම පුරුකක් ලෙස හඳුනාගැනීම වඩා උචිත ය. ඔහු මෙම ගීතයේ සංගීතය මෙහෙයවා ඇති ආකාරය අනුව ඔහු සංගීත ක්ෂේත්‍රය ට ආධුනිකයෙකු බව නොඇඟවෙයි. විශේෂයෙන් ම රුසියානු සංගීතය ඇසුරු කරගනිමින් ගීත රචනයේ ඇති ආනුභූතික ලක්ෂණ වඩා තීව්‍ර කරමින් අප ට නැවුම් රසයක් ලබාදීමට ඔහු සමත්වී ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම මෙහි මයිනර් කෝඩ් එකකින් ගලායන ගීතය අතීතාවර්ජන භාව ප්‍රකාශනයක ට (Nostalgic expression) වඩා සුදුසු ය. මෙහි යොදාගෙන ඇති සංගීත භාණ්ඩ එනම් බැලලයිකාව, එකෝඩියනය ආදිය රුසියානු සංගීතය ට අනන්‍ය නාදයන් නිෂ්පාදනය කරයි. විශේෂයෙන් ම රුසියානු ගැමි සංගීතයේ බහුලව ද රුසියානු සම්භාව්‍ය සංගීතයේ සුළු වශයෙන් ද භාවිතා වන බැලලයිකාව තත් තුනක් සහිත තත් වාද්‍ය භාණ්ඩයකි. එයින් නගන මිහිරි නාදය අපට නිතැතින් ම රුසියානු සංස්කෘතිය සිහිගන්වයි. මෙහි යොදාගගෙන ඇති නාද රිද්මය ද රුසියානු පොල්කා (මෙම නර්තන සම්ප්‍රදාය බහුලව භාවිතා වන්නේ යුරෝපීය රටවල් වල ය) වැනි නර්තන සම්ප්‍රදායක බහුල ව යෙදෙන රිද්මයකි. ගීතය පුරා ම මයිනර් කෝඩ් එකකින් යෙදෙන ස්වර රචනාව අන්තරා කොටසේදී මේජර් කෝඩ් එකකට මාරුවීම පළවෙනි අන්තරා කොටසේදී මනාව ගැලපුන ද දෙවෙනි අන්තරා කොටසේදී යම් නොගැලපීමක් ඇති කරයි. පළමු අන්තරා කොටසේ පෙම්වතිය සමග ගෙවුනු ප්‍රහර්ෂාත්මත අතීතය සිහිපත් කිරීමට මේජර් කෝඩ් එක මනාව ගැලපෙයි. නමුත් දෙවෙනි අන්තරා කොටසේ මේජර් කෝඩ් කොටසේ කියැවෙන්නේ ඇයගේ අහිමිවීම බැවින් ප්‍රහර්ෂාත්මක බව ඇතිකරන කෝඩ් එකක් යෙදීම නොගැලපෙන බව පෙනෙයි. වයලීන කොටස් වාදනයේදී රුසියානු සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ද රචකයාගේ රුසියානු අනුභුතිය කුළුගන්වයි. අපරදිග වයලීන වාදනයේදී එන ප්‍රධාන වාද්‍ය සම්ප්‍රදායයන් අතරින් ජර්මානු සහ රුසියානු තාක්ෂණික ක්‍රමශිල්ප අතර පැහැදිලි වෙනසක් තිබෙයි. මෙහි ඉතා හොඳින් වයලීනය රුසියානු වාදන තාක්ෂණය අනුව මෙහෙයවා ඇත.මේ සියලු ලක්ෂණ තිසරගේ සංගීත අධ්‍යක්ෂණයේ ප්‍රතිභාව විශද කරන බව පැවසිය යුතුම ය.
මෙහි ගායනයේ දී සමහර වචන නිවැරදිව උච්ඡාරණය වී නැතිබවක් පෙනෙයි.."මෂේන්කා" "(උයනේ නැතිද) හිඳින්නේ" වැනි කොටස් වල උච්ඡාරණ දෝෂ පවතියි, තරමක් විවෘත කටහඬකින් ගායනා වූවා නම් මෙයට වඩා ගීතයට ආලෝකයක් ලැබිය හැකිව තිබූ බව අපේ මතයයි.
මෙය අතිශය සරල පදමාලාවක් වුව ද රශ්මිකගේ උත්සාහය අගය කළයුතු වන්නේ වෙනස් අනුභූතීන් සොයා යෑම ට ඔහු දරන තැත නිසාම ය. ඔහු රචනා කරන බොහෝ ගීතවල නැවුම් අනුභූතීන් ඇසුරු කිරීමට ඔහු ප්‍රිය කරන බව පෙනෙයි. තව තවත් කාව්‍ය ලක්ෂණ, ගීතාත්මක ලක්ෂණ ගීතයට එක් කර ගැනීම ට සහ වඩාත් ම උචිත ගැලපෙන වචන තෝරාගැනීම ඔහු තවත් සිය අධ්‍යයන පරාසය පුළුල් කරගත යුතු බව පෙනෙයි. අද යුගයට අවැසි එවැනි නව්‍ය තේමා සොයා යන නිර්මාණ කරුවන් මිස ඕලාරික පල්හෑලි, අදෝනා, වැල්වටාරම් ලියන්නන් නොවෙයි. තිසර බණ්ඩාර සංගීතඥයෙකු වශයෙන් මේ දක්වන ප්‍රතිභාව සිංහල සුභාවිත ගීතය සම්බන්ධයෙන් අප සිත් සතන් තුළ සැනසුම් සුසුමක් ඇතිකරන බව කිව යුතු ය. මෙවැන් වෙනස් තේමා තෝරාගනිමින් තව තවත් යහපත් නිර්මාණ බිහිකිරීමට ඔබ දෙදෙනාට ම හැකියාව ලැබේවා!


No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...