Monday 16 July 2018

සළරූ විනිස - බන්ධනය



     සිනමාව කලා මාධ්‍යයක් වශයෙන් විකාශනය වීමේදී විශේෂයෙන් ම බටහිර සිනමාවේ විවිධ සිනමා ශානර(Genre) බිහිවී ඇත. ප‍්‍රහසන(Comedy), සංගීතාත්මක(Musical) ප්‍රේමණීය(Romantic), භීම(Horror ) ආදී සිනමා ශානර රාශියක් මේ අතර වෙයි.  මේවා අතුරින් විශේෂ සිනමා ප‍්‍රවර්ගයක් ලෙස භීම චිත‍්‍රපට හඳුනාගත හැකි ය. පේ‍්‍රක්ෂකයා තුල භීතිය, සංත‍්‍රාසය,  ලොමුදැහැගැන්වීම ඇතිවන පරිදි විවිධ කතා පුවත් සිනමාත්මක ව ඉදිරිපත් කිරීම මේ චිත‍්‍රපට තුල සිදුවෙයි.  බොහෝවිට යක්ෂයන්, භුතාත්ම, අදෘෂ්‍යමාන බලවේග ආදිය විසින් සිදුකරනු ලබන කි‍්‍රියාකාරකම් භීම චිත‍්‍රපට වලට පාදක වෙයි. එසේ ම එවැනි ක‍්‍රියාකාරකම් ආගමික වත් පිළිවෙත් ඇසුරෙන් සමනය කිරීම ද මේ චිත‍්‍රපට වලට පොදු ලක්ෂණයක් ලෙස ගත හැකි ය.
      ශ‍්‍රී ලාංකේය සිනමාව ගතහොත් මෙම භීම චිත‍්‍රපට ශානරයෙන් බිහිවුණු චිත‍්‍රපට ඇත්තේ අතළොස්සකි. උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරන ලද බන්ධනය චිත‍්‍රපටය භීම චිත‍්‍රපටයක් ලෙස පේ‍්‍රක්ෂක අවධානය ට ලක්වන්නේ මෙවැනි පසුබිමක ය. මීට වසර 80කට පමණ පෙර දකුණු පළාතේ එක්තරා ගමක සිදුවූ සිදුවීම් මාලාවක් මේ චිත‍්‍රපටය ට පාදක වෙයි. තමන් ට එරෙහි වූ තමාගේම ඥතීන්ගෙන් පළිගැනීමේ යෙදෙන යකැදුරෙකු ට අවසානයේ සිදුවන ඛේදජනක ඉරණම මෙම සිනමා පටයෙන් කියැවෙයි.
           යන්ත‍්‍ර මන්ත‍්‍ර, තොවිල් පවිල්, හදි හූනියම්, ආදිය සහ ශාන්තිකර්ම විධීන්වලට දකුණු පළාත ප‍්‍රකට ය. එම ගුප්ත විද්‍යාවන් පුහුණු කළ යකැදුරන් ඒවා මගින් විවිධ කාර්යයන් කළ බව කියැවෙයි. ඒවා යහපතට මෙන් ම අයහපතට ද එකසේ යොදාගෙන ඇත. හදිහූනියම් කිරීම,  පිල්ලි යැවීම ආදිය යකැදුරන් විසින් කරනු ලැබූයේ සතුරන්ගෙන් පළිගැනීමට ය. යම්කිසි අකටයුත්තක් අසාධාරණයක් සිදුවූ විට ඒ සඳහා නීතියේ පිහිට පැතීම වෙනුවට ගැමියන් කළේ අදෘෂ්‍යමාන බලවේගවල පිහිටෙන් තම සතුරාගෙන් පළිගැනීම ය. මේවා සුළු කරදර කිරීම්වල සිට ජීවිත හානි කිරීම් දක්වා පැතිර පැවතිණි. මෙම කටයුතු වැරදී ගියහොත් ඒවා කරන්නන් ට එහි පළවිපාක විඳීමට සිදුවන බවට ද ගැමි සමාජයේ පිළිගැනීමක් පවතියි.
       මැණික්හාමි යනු මහඉරිකන්නිය ගමේ සිටින ප‍්‍රබල යකැදුරෙකි. එමෙන්ම වෙදහෙදකම් ආදියෙහි ද සමතෙකි. පරම්පරා ඉඩමක් සම්බන්ධයෙන් ඔහුගේ බාප්පාගේ පුත‍්‍රයෙකු වන ඩිංගිරාල සමග වැට මායිමකට ඇතිකරගන්නා ආරවුලක් දුරදිග යෑමෙන් එම පවුල් දෙක දැඩි විරසකයක් ඇතිවෙයි. ඩිංගිරාලගේ එදිරිවාදිකම් මර්දනය කිරීමට රහසිගතව කළු බළල් පිල්ලියක් යවා මැණික්හාමි විසින් ඩිංගිරාල මරණයට පත්කරනු ලබයි. මේ සියලූ කටයුතු සඳහා මැණික්හාමිට ඔහුගේ මස්සිනා සහ බෑණාගේ උදව් උපකාර ලැබෙයි. තුන් කුළුඳුල් මළමිනියකින් ලබාගන්නා දිව කළු බළලෙකුට කෑමට දී පිල්ලියක් බවට පත්කරවා ඩිංගිරාල මරණයට පත්කරන ආකාරයෙන් මැණික්හාමිගේ ගුප්ත විද්‍යා හැකියාවන් වල ප‍්‍රබලත්වය මනාලෙස ඉස්මතු වෙයි.
    මින්පසු ඩිංගිරාලගේ මුළු පවුලම ගමෙන් පන්නා දැමීමට කල්පනා කරන මැණික්හාමි, සර්ප දෂ්ටනයකට ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඩිංගිරාලගේ මිණිපිරිය වන සුමනාට යක්ෂයෙකු බන්ධනය කරනු ලබයි. ඉන්පසු සුමනා වෙනස් ම චරිතයක් බවට පත්වෙයි. යක්ෂයා ආරූඪ වීමෙන් අනතුරුව ඇය වරින් වර විවිධ අද්භුත ක‍්‍රියාකාරකම් වල නියැලෙයි. ඇයගේ ශරීර ස්වභාවය ද වෙනස්වන අතර හූනන්, හාවන් වැනි සතුන් මරා ආහාරයට ගනියි. මැණික්හාමි විසින් මන්ත‍්‍ර බලයෙන් සුමනා මෙහෙයවනු ලබන්නේ ඇයගේ හිසට දෙහි කටුවක් ගසා එයින් මහසෝන් යක්ෂයා බන්ධනය කිරීමෙනි. සුමනාගේ දෙමව්පියන්ට මැණික්හාමි පවසන්නේ මාස තුනක් යනතුරු සුමනා නෑවීමෙන් සහ ඇයගේ කොණ්ඩය කැපීමෙන් වළකින ලෙසයි. නමුත් සුමනාගේ වයසක මිත්තණිය මේ කිසිවක් නොදැන දිනක් සුමනාගේ හිස අතගාමින් සිටින අතරතුර දෙහි කටුව ගලවනු ලබයි. ඒ සමගම බන්ධනය කොට තිබූ මහසෝන් යක්ෂ ආත්මය ඉන් පිටවී මිත්තණිය ද ඝාතනය කොට යක්ෂයා බන්ධනය කරනු ලැබූ මැණික්හාමි සොයා ගොස් මැණික්හාමි මෙන් ම ඔහුගේ බෑණා වන ආරියපාලගේද ගෙල සිඳ දමා මරණයට පත්කරනු ලබයි. ඉන්පසු යක්ෂයා විසින් එහි සිටින සුමනාගේ මවද ඝාතනය කිරීමට තැත් කරන අතර එවිට සුමනාගේ පියා විසින් ආරණයේ වෙසෙන ස්වාමීන් වහන්සේ සුමනාගේ ආරක්ෂාවට පළඳින ලද යන්ත‍්‍රය යක්ෂයාගේ කටට දැමීමෙන් යක්ෂයා පළවා හරිනු ලබයි.
     මැණික්හාමිගේ සහ ඩිංගිරාලගේ ඉඩම් තණ්හාව නිසා ජීවිත කිහිපයක්ම නැතිවී අවසානයේදී මැණික්හාමි සහ ඩිංගිරාල යන දෙදෙනාටම තම ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවෙයි. මිය යන විට මැණික්හාමිවත්, ඩිංගිරාලවත් තමන් රණ්ඩු කරමින් ආරක්ෂා කළ ඉඩකඩම් කිසිවක් රැුගෙන ගියේ නැත. අධික තණ්හාව නිසා මිනිසා විනාශය කරා ගමන් කරන ආකාරය මනාව පසක් කරන නිර්මාණයක් ලෙස මෙය හඳුනාගත හැකි ය.
         සිනමා කෘතිය අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනා කරනු ලබන්නේ උදයකාන්ත වර්ණසූරිය විසිනි. සමස්තයක් ලෙස ගත්කල පේ‍්‍රක්ෂකයා තුල කුතුහලය සහ භීතිය ජනනය වන පරිදි මෙහි අවස්ථා සිද්ධි ගැලපීමට අධ්‍යක්ෂකවරයා සමත් වී ඇති බව පෙනෙයි.
 කලා අධ්‍යක්ෂණයේදී සිනමා කෘතියේ සඳහන් වන කාලයට අනුකුල වන පරිදි සිනමා රූපරාමුවල පවතින භාණ්ඩ, පසුතල ආදිය මනාව සකස් කිරීමට කලා අධ්‍යක්ෂකවරයාට හැකිවී තිබෙයි. එහිදී යොදාගෙන ඇති ගෘහභාණ්ඩ, වාහන, පැට්‍රෝල් මැක්ස් ලාම්පු, නිවාස ආදිය නිතැතින් ම අපට 20වන සියවසේ මුල්භාගය සිහිගන්වයි. කෙසේ නමුත් සුමනාගේ පියා වන ජයසෝම යාපනයේ සිට බසයෙන් බසින තැන ඇති තාරපාර කාපට් අතුරා මෙන් තිබීම ඒ යුගයට උචිත නොවේ.
    කෘතියේ සමස්ත අර්ථය එනම් භීතිය, කුතුහලය ඉස්මතු වන පරිදි සමීප රූප, දුර රූප සහ චලනය වන රූපරාමු මනාලෙස යොදාගැනීමට කැමරා අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත. මුළු සිනමා කෘතියම කළු සුදු වර්ණයෙන් ඉදිරිපත් කොට ඇති නිසා අපගේ මනස නිරායාසයෙන් ම චිත‍්‍රපටයේ නිරූපිත කාලයට ගමන් කරයි. එය මෙහි පාත‍්‍ර වර්ගයාගේ අඳුරු, ගුඪ චිත්ත චෛතසිකයන් විදාරණය කිරීමටද මනා පිටුවහලක් වෙයි.
       මෙහි වේෂ නිරූපණය ගැන සැළකීමේදී බාහිර අංග ශරීරයට බද්ධ කිරීම හෙවත් බද්ධ අංග රචනය (Prosthetic Make up) කිරීමෙන් නිර්මාණය කරන ලද මහසෝන් යක්ෂයා විශේෂ වෙයි. කෙසේ නමුත් යක්ෂ මුහුණේ චලනයන් වල පවතින ස්වාභාවික නොවන ගතිය නිසා යක්ෂ මුහුණක් පැළඳගත් පුද්ගලයෙකු පේ‍්‍ර්ක්ෂකයාගේ මනසේ මැවීම වැළැක්විය හැකි නොවේ. යක්ෂයාගේ මුහුණ නිර්මාණය කිරීමේදී දෘෂ්‍ය ප‍්‍රයෝග(Visual Effects) හෝ සජීවීකරණ(Animation) වැනි තාක්ෂණික ක‍්‍රම භාවිතයෙන් මෙයට වඩා සාර්ථක නිරූපණයක් කළ හැකිව තිබූ බව අපගේ හැඟීමයි. අප අසා ඇති පරිදි මහසෝන් යක්ෂයා භෞතික ශරීරයක් මවා ගනිමින් මිනිසුන් සමග පොරබදමින්, සටන් කරන්නේ නැත. එවැනි යක්ෂයින් සමග පොරබදන සිදුවීම් සමහර බටහිර චිත‍්‍රපටවල දක්නට ලැබෙයි. අපේ ගුප්ත විද්‍යා ක‍්‍රමවල ඇත්තේ යක්ෂ ඇල්ම බැල්ම වැටීම, එක්වරම දර්ශනය වී නොපෙනී යාම වැනි කරුණු ය. කෙසේ නමුත් ගමක ජීවත්වන සාමාන්‍ය ගැමි ජනතාවගේ යථා ස්වභාවය, ඉරියව් ආදිය ඉස්මතු වන පරිදි වේෂ නිරූපණය කොට තිබීම අගය කළ යුතුය.
         ඇඳුම් නිර්මාණයේදී ඒ යුගයට ගැලපෙන පරිදි මනා ලෙස වස්ත‍්‍ර මෙන්ම ආභරණ ද ගලපා තිබීම අගනේය. සාමාන්‍ය ගැමි ජනයා එදිනෙදා අඳින පළඳින ආකාරය මනාලෙස ග‍්‍රහණය කරගැනීම වැදගත් නමුත් ළමා නිළියගේ බටහිර ඇඳුම සන්දර්භය සමග ගැලපේද යන්න ප‍්‍රශ්නයකි.
   මෙම චිත‍්‍රපටයේ දෘෂ්‍ය ප‍්‍රයෝගද යොදාගෙන තිබෙයි. සුමනාගේ ශරීරයේ පැලීම් පෙන්වන අවස්ථාව, ඇය ඉහළට පාවී යන අවස්ථාව, මැණික්හාමිගේ සහ ආරියපාලගේ හිස් යක්ෂයා විසින් ගලවන අවස්ථාව ආදියේ දෘෂ්‍ය ප‍්‍රයෝග සාර්ථක වුවද ඒවා මීටත් වඩා සැබෑ ලෙසම පෙනෙන පරිදි යොදාගත හැකිව තිබූ බව බටහිර චිත‍්‍රපටවල එන දෘෂ්‍ය ප‍්‍රයෝග තාක්ෂණය සමග සැසඳීමේදී පෙනීයයි.
  නළුනිළි වරණයේදී අධ්‍යක්ෂකවරයා මනාලෙස සිය තෝරාගැනීම් සිදුකොට ඇතිබව පෙනෙයි. බොහෝ රඟපෑම් රඟපානවා සේ නොදැනෙන්නට නළුවන්ගෙන් ලබාගැනීමට අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත. සිරිල් වික‍්‍රමගේ, විල්මන් සිරිමාන්න, රවීන්ද්‍ර යසස්, ප‍්‍රියංකර රත්නායක, ළමා නිළි සහේලි වැන්නන්ගේ රඟපෑම් හොඳ මට්ටමක පවතියි. හේමාල් රණසිංහගෙන් අප මීට පෙර චිත‍්‍රපටවල දුටු සුකුමාර තරුණයාම මෙහිද පෙනෙන බැවින් ඔහුගේ ස්වරූපය මෙම සන්දර්භයට සාපේක්ෂව ගැලපේද යන්න ගැටලූකාරී ය.
 ශබ්ද ප‍්‍රයෝග භාවිතා කිරීමේදී සුමනාට යක්ෂ දිෂ්ටිය වැහී කතාකරන අවස්ථාව ගතහොත් එම හඬෙහි යම් කෘති‍්‍රීම ගතියක් නැතිනම් බටහිර භීම චිත‍්‍රපටවල යක්ෂයන් ආරූඪ වූ විට කතාකරන හඬට සමානවීමක් දක්නට ලැබෙයි. සාමාන්‍යයෙන් ලාංකේය පරිසරයේදී යක්ෂ පේ‍්‍රත දිෂ්ටියක් ආරූඪවී ඇතිවුවද කතාකරන්නේ මිනිස් හඬෙන්ම ය.
                මෙහි සංගීතය භාවිතා කොට ඇති ආකාරය භීතිය, කුතුහලය ඉස්මතු කිරීමට ප‍්‍රමාණවත් නොවන බව අපගේ හැඟීමයි. සංගීත අධ්‍යක්ෂකවරයා බටහිර භීම චිත‍්‍රපටවල භීතිය, කුතුහලය වැනි හැඟීම් සංගීතයෙන් උද්දීපනය කරන ආකාරය අධ්‍යයනය කිරීම වටියි. එසේම එම හැඟීම් උත්සන්න කිරීමට මිනිස් කටහඬ කේවල ලෙස හෝ වෘන්දයක් ලෙස යොදාගැනීමට තිබූ මහඟු අවස්ථාව ඔහු මගහැර ඇත. එමෙන්ම යක් බෙරය, තොවිල් වලදී වාදනය වන නලාව ආදිය භාවිතයෙන් මෙහි භීතිය, ගුඪත්වය කුළුගැන්විය හැකිව තිබිණි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස නිධානය, තුන්වෙනි යාමය වැනි චිත‍්‍රපටවල විවිධ සංගීත භාණ්ඩ සහ මිනිස් කටහඬ යොදාගනිමින් හැඟීම් තීව‍්‍ර කරන අයුරු බලන්න. මෙහිදී ද එවැනි සංගීත භාණ්ඩ යෙදවුමක් වූයේ නම් පේ‍්‍රක්ෂකයා මීට වඩා ඓන්ද්‍රීය ලෙස සිනමා කෘතිය සමග බද්ධ කරවීමට හැකියාව තිබිණි.
            මෙම චිත‍්‍රපටයේ සංකේත භාවිතය පිළිබඳ සැලකුව හොත් සමස්ත චිත‍්‍රපටයම මිනිසාගේ අධික තෘෂ්ණාවේ පළවිපාක පිළිබඳ සංකේතයක් බඳු ය. එසේම යක්ෂ මුහුණ මිනිස් චිත්තාභ්‍යන්තරයේ පවතින නපුරු, දුෂ්ට, ගුඪ, දරුණූ ස්වභාවය සංකේතවත් කරයි. සමස්තයක් ලෙස සලකා බැලීමේදී මෙය රසිකයාට වෙනස් ආරක රසවින්දනයක් ලබාදෙන සිනමා කෘතියක් බව පෙන්වා දිය හැකිය. භීතිය දනවන ශානරයෙන් සහ ත‍්‍රිමාණ තාක්ෂණයෙන් ද ඉදිරිපත් කර ඇති නිසා එය ලාංකික පේ‍්‍රක්ෂකයාට සුවිශේෂී සිනමා අත්දැකීමක් ලෙස හැඟී යනු ඇත.

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...