Saturday 21 July 2018

කව් රස විනිස - කටුගේ කිරිල්ලී - තරංග ලක්මාල් ජයසූරිය

(මෙය 2016 වසරේ ලියූ සටහනකි.)
මඳක් ඇලකර නවා හිස
සිනා සී දෑත් එක්කර
කීවා 'ආයුබෝවන්' කියා
සුන්දරය ඒ කල්බඳ
අනුරපුරේ ජන කටුගේ
එකිනෙක කරයි විස්තර
වරින් වර විරාම තියා හැරී බලයි ඈ මා දෙස
ළමයින් ලොකු පන්තිවල
දුටුවා වගෙයි මේ නෙත් හරඹ
ඇතිවුණත් සියුම් කුහුලක්
පෙන්නුවේ නෑ මං ඒ වගක්
අතැඟිලි දිගුකොට පිරිමදියි
වමතෙහි වෙදැඟිල්ල හෙමිහිට
හිස් බව නම් මටත් පෙනෙයි
මා අතෙහි හිස් බව ද ඈ දකියි
ඒත් අසරණ මේ දිගැස්සිට
කියන්නේ කෙලෙසද මං
අත පාලුවට ගොස් ඇත්තේ
මුදුව උගසට තැබූ නිසා බව
සිහිවටන ලියන්නට ඈ දුන් පොතේ
තැබුවා මෙලෙස සටහනක්
'අතැඟිලි පාලුවට ගිය සැවොම තනිකඩයන් නොවේ
කිරිල්ලියේ
පරිස්සමට'
තරංග ලක්මාල් ජයසූරිය

         නිසඳැස් ආකෘතියෙන් ලියැවුණු මෙම අපූරු කවි පන්තිය නෙත ගැටුණේ සරසවියේදි කවිය ගැන සංවාදයක් කරපු අපේ Buddhi Galappatty ගුරුතුමා නිසයි. ඔහු සංස්කරණය කරන කවි පිටුවකට මෙම කවිය එවා තිබුණේ මාතලේ පැත්තෙ ඉස්කෝලෙක ගුරුවරයෙක් බවයි ආරංචිය. කෙසේ නමුත් එය නැවුම් වස්තු බීජයක් සහිත සිත්ගන්නා කවියක් බව අවිවාදිතයි.
            සිය පාසලේ අධ්‍යාපන චාරිකාවක දී අනුරාධපුරයේ කෞතුකාගාරය ට යෑමට මෙම ගුරුතුමා ඇතුළු කණ්ඩායම ට සිදුවෙයි. එහිදී කෞතුකාගාරයේ විස්තර කියාදෙනු ලබන කාන්තාව සහ ගුරුවරයා අතර අැතිවන එක්තරා ගණුදෙනුවක් කවිය ට අනුභූතිය සපයා තිබෙයි. ඇය වරින් වර සිය කතාව නවත්වා ගුරුවරයා දෙස බලන්නෙ ඔහු සතු කඩවසම් සිත් ඇදගන්නා රුව නිසාවෙන් බව උපකල්පනය කළ හැකි ය. ඇය සහ ගුරුවරයා අතර මෙසේ නෙතින් කරන ඉඟි බිඟි පාසලේ වැඩිහිටි සිසුන්ගෙන් වහං කිරීමට හැකියාවක් නොලැබෙයි. ඇය තමන් තනිකඩ බව සංකේතාත්මක ලෙස විදහා දක්වන්නේ මංගල මුදුව පලඳින වමතෙහි වෙදැඟිල්ල පිරිමදිමිනි. එයින් ඇගේ සැඟවුණු රතිකාමාසාවන් පිළිබඳව ද ඉඟියක් සැපයෙයි. ඇය දකින්නේ ගුරුවරයාගේ මංගල මුදුව පළඳින ඇඟිල්ලද පාලු සෙයකි. එයින් ඇය ගුරුවරයා තනිකඩයෙකු බව උපකල්පනය කිරීමට සහ එ් හේතුවෙන් ඔහු පිළිබඳ ඈ කෙරෙහි යම් සිතිවිල්ලක් පහළ වීමට ඉඩතිබෙන බව ද ගුරුවරයා වටහා ගනියි. ඔහුගේ ඇඟිල්ලේ මංගල මුදුව නැත්තේ ඔහු තනිකඩ නිසා නොව ආර්ථික අපහසුතා නිසා මුදුව උගසට තබා ඇති බැවින් බව දන්නේ ගුරුවරයා පමණි. නමුත් එය ඔහුට ප්‍රසිද්ධියේ පැවසිය නොහැකිය. ගුරුවරයා පිළිබඳ ඇයට ඇතිවූ සිතිවිල්ල සාක්ෂාත් කරගැනීමට නොහැකිවන බව ගුරුවරයා දනී. ඒ නිසා ඇගේ අසරණ කම ද ඔහු වටහා ගනියි. අවසානයේ මේ සියල්ල වක්‍රාකාරයෙන් ඇයට දැන්වීමට ගුරුවරයා යොදාගන්නේ සමරු සටහන් ලිවීම ට කෞතුකාගාරයේ තබා ඇති පොතයි. වෙනත් අයෙකු ට නම් තමන් තනිකඩයෙකු බව පවසා පහසුවෙන් ම ඇය රවටා ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත හැකි ව තිබූ බව ගුරුවරයා ට අවබෝධ වෙයි. ඇය ගැන උපන් සානුකම්පිත හැඟීම නිසා ඇය ට ආරක්ෂාකාරීව සිටින මෙන් ඔහු අඟවන්නේ සෑම අයෙකු ම තමා මෙන් නොවන නිසා බව දක්වමිනි.
      කෞතුකාගාර සහායිකාවගේ හැසිරීම් සජීවී ව ඉදිරිපත් කිරීම ට රචකයාගේ භාෂාව සමත් වී ඇති බව පෙනෙයි. ඇය ගේ වෙදැඟිල්ල පිරිමැදීම ද උත්ප්‍රාසාත්මක සිදුවීම කි. මෙම කවිය සමස්තයක් ලෙස ගත් කළ සාර්ථක නිර්මාණයක් බව පැවසිය හැකිය.

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...