Monday 16 July 2018

මීයැසි විනිස - අවනඩුවක්

දෙවොල් බෙරේ කර තියාන
හැන්දෑ දුරේ ඔබ යනකොට
මගේ හිතට කළුවර එනවා
සලඹ තියා වරම් ගන්න
පත්තිනි දේවිත් නො ඇසුව
මේ අවනඩු කාට කියනවා //

නාගදරණ, ගුරුළුරාජ කැටයම් ඔප කළ
ඔබ හැදු වෙස් මුහුණ අන්න රට සල්පිල් වල
නැතිබැරිකම් හතර වටින් එබිකම් දෙනකොට
පෑල දොරට අගුළු දමා - මං රෑ තනියම //

පනික්කි රාළේ කැරකෙන බඹර වලල්ලක
රෑට මඩුපොළේ නටනා පෙළහර පාමින
මීතෙල් පන්දම් එළියෙන් නුරා මුකුළු දෙන
වාවන්නෑ මයෙ දෙයියෝ මේ ඒ ඔබමද
                                               ගායනය - Shanika Sumanasekara
                                               රචනය - Asanka Ruwan Sagara
                                               සංගීතය - Darshana Ruwan Dissanayake

      'දෙවොල් බෙරය', 'යක් බෙරය' නැතිනම් 'පහතරට බෙරය' යනු ලංකාවේ පහතරට කලාපය ට ආවේණික, පහතරට ශාන්තිකර්ම වලදී නිතර භාවිත කරනු ලබන 'ආතත' ගණයට ගැනෙන බෙර වර්ගයකි. දෙවොල් බෙර වාදනය සහ නර්තනය පරම්පරාගත ව පැමිණෙන්නකි. එසේ බෙරවාදනය, නර්තනය සිදු කරන ගුරුන්නාන්සේ කෙනෙකු පාදක කරගෙන ලියැවුණ ගීත රචනාවක් දුටුවේ පළමු වතාවටයි..එවැනි ගුරුන්නාන්සේ කෙනෙකු සතු තරුණ බිරියකගේ අධ්‍යාත්ම ප්‍රකාශනයක් ලෙස ලියැවී ඇති මෙහි සමස්ත රචනාව ම සංස්කෘතික වටපිටාවක පිහිටුවා තිබෙයි. විවිධ ශාන්තිකර්ම සඳහා සවස් වරුවට ගෙදරින් පිටවන සිය ස්වාමියා බොහෝවිට පැමිණෙන්නේ පසුවදා ය. එතෙක් ඇය ට නිවසට වී හුදෙකලා ව සිටීම ට සිදුවෙයි. තරුණ බිරියක ලෙස ඇය මෙම පාළුව, තනිකම දරාගන්නෙ කෙසේද? රාත්‍රී කාලයේ ඇගේ සිතට මතුවන විවිධ ශෘංගාරාත්මක හැඟීම් බෙදා ගැනීමට සිය ස්වාමියා ඇය අසල නොමැති වීම තරම් බිරියකට තවත් දුකක් ඇත්ද? මෙම විප්‍රලම්භ ශෘංගාරිත භාව ප්‍රකාශනය ගීතය පුරාම විහිදී තිබෙයි..කාන්තාවන් සිය දුක් අඳෝනා බොහෝවිට පවසනු ලබන්නේ පත්තිනි දේවියට ය..ඇය කාන්තාවන්ගේ විමුක්තිකාමිනිය ලෙස වසර දහස් ගණනක් තිස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පිළිගැනීමට ලක්වී තිබෙයි..මෙහිදී කතානායිකාව ඇයගේ දුක්ඛ දෝමනස්සයන් පත්තිනි දේවිය ට පැවසුව ද ඇයට පිළිසරණක් ලැබී නොමැති බවක් කියැවෙයි.
බොහෝ පහතරට ගුරුන්නාන්සේලා ලීයෙන් පිළිම, වෙස් මුහුණු නෙලීමේ රුසියෝ වෙති. ඔවුන් සමහර නිර්මාණ කිරීමට මාස ගණනක් කල් ගන්නා බව දැක ඇත්තෙමි. එසේ බොහෝ වෙහෙස මහන්සියෙන් නෙලන වෙස් මුහුණු වලට ඔවුන්ට ලැබෙන්නේ සොච්චමක් බවද දනිමි. මේ විවෘත ආර්ථික රටාව තුල පොහොසතුන් වී ඇත්තේ නිෂ්පාදකයා නොව අතරමැදියා බව රහසක් නොවෙයි. නිෂ්පාදකයා හැමදාම තම දහදිය මහන්සිය වගුරද්දී අතරමැදියා සිටුමාළිග තනා සැප ජීවිත ගත කරයි. ඒ අනුව මෙම සිද්ධිය ට අදාළ ගුරුන්නාන්සේ නිපදවන මුහුණු රට සහ මෙරට වෙළඳසැල් තුළ ඉහල මිලකට විකිණෙන්නේ ඔවුන් සදාතනික දුප්පත් කමක ගිල්වමිනි. දුප්පත්කම ඉදිරි දොරෙන් එනවිට ආදරය පෑල දොරින් පළා යන බව අප අසා තිබේ. නමුත් කතා නායිකාව තම දුප්පත් ස්වාමියා ඉදිරියේ එසේ හැසිරෙන්නේ නැත. ස්වාමියා නොමැති සයනයේ තනිය මකන්න ට වෙනත් පුරුෂයන් සොයන්නේ නැත.."පෑල දොරට අගුළු දමා - මං රෑ තනියම" යන යෙදුම ඉතා ප්‍රබල යෙදුමක් බව පෙනෙයි. එයින් ගම්‍ය වන අර්ථ ද්විත්වය පැහැදිලි ය. 'දුප්පත් නිවසින් ආදරය පළා නොයන ලෙසත්, වෙනත් පුරුෂයෙකු ට ඇතුල් වීමට නොහැකි වන ලෙසත් පතිනිය විසින් වසාදමා ඇති දොර' රචකයාගෙ කාව්‍යාත්මක ශඛ්‍යතාවය මැනැවින් ප්‍රකට කරයි.
බඹර වලල්ල යනු පහත රට ශාන්තිකර්ම වල එන එක්තරා හරඹයකි. බඹරයක් කැරකෙන්නාක් මෙන් ඉතා වේගයෙන් කැරකෙමින් පාන දස්කම, ශිල්පියාගේ ශිල්පීය හැකියාව පිළිබඳ සාක්ෂි සපයයි. මඩුවක නටන විට, නැට්ටුවා පෙළහර පාන විට එය ඔහුට මහත් ආඩම්බරය ට කරුණකි. එසේ ම ඔහුගේ බිරිඳට ද සිය සැමියාගේ හැකියාවන් පිළිබඳ ආඩම්බර විය හැකිය. මීතෙල් පහන් එළියෙන් පෙනෙන තෙල් තැවරී ඇති නැට්ටුවාගේ ශරීරය දකින බිරිඳගේ ආශාවන් පහන්සිල මෙන් ඇවිලෙයි. මෙසේ පෙළහර පාමින් නටන්නේ නිවසේ සයනයේ තමා ඉදිරියේ අක්‍රීය චරිතයම දැයි බිරිඳ ට සිතාගැනීමටවත් නොහැකි ය..මෙයින් ඇය පෙළන විප්‍රලම්භ ශෘංගාරය තවත් වැඩිවෙයි..
මෙසේ මෙතෙක් ගීත රචනාවලට බහුල ව යොදානොගැනුණු නැවුම් වස්තු බීජයක් සිය නිර්මාණය ට යොදාගැනීම ම රචකයාගේ නිර්මාණාත්මක ගුණය ඉස්මතු කරන්නකි. ඔහු යොදගන්නා වචන මාලාව විදග්ධ වාං මාලාවක් නොව ප්‍රාදේශිය ව ව්‍යවහාර වන, කතා පුවත පැවසීමට සහ භාව ප්‍රකාශනය ට සුදුසු ම වචන එකතුවකින් සමන්විත වෙයි..
මෙය ගායනා කරනු ලබන ගායිකාව පිළිබඳවද විශේෂයෙන් ඇගයීමක් කළ යුතු ය. වර්තමානයේ ඇසෙන බොහෝ ගායනා ශ්‍රැතිභංග ගායනා බව අමුතුවෙන් කිවයුතු නොවේ. ශානිකා සුමනසේකර ගායිකාව නිවැරදි ශ්‍රැතිමත පිහිටා, හැගීම්බර අයුරින් ගායනා කරමින් ගීතයට කර ඇති සාධාරණය මෙහිදී අප අගයන්නේ එබැවිනි. සිංහල ගීතයේ නීලා, සුජාතා, රශ්මි සංගීතා වැනි ප්‍රවීණ ගායිකාවන් ගේ ගායනා සිහිපත් කරවන ඇයගේ කටහඬ උතුරු ඉන්දියානු ස්වර පද්ධතියෙන් මනා ලෙස හික්මී ඇතිබව පෙනෙයි. එසේ ම ගීතයේ වදන්වලට භාවාත්මක අරුත් එක් කරමින් ඇය කරන පෙළහර ද අපූරු ය. මෙවන් ගායනා ඇසෙද්දී සුපිරිතරු තරග ආදී විසූක දස්සන හරහා අපෙන් අහිමිකළ ගීත සංස්කෘතිය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිවෙයි..වරෙක ජන නාද රටා සමගද, විටෙක ශෘංගාරය මුසු ගායනා ඛණ්ඩ සමග ද විකුම් පාන ඇය ගීතයේ මුඛ්‍ය චරිතය තමා ම බව අපට පෙන්වා දෙයි.
තනු නිර්මාණයේදී සහ සංගීත සංයෝජනයේ දී සංගීත අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක ජන නාද රටා ඇසුරු කොට ඇති බව පෙනෙයි..පහතරට ශාන්තිකර්ම ගායනා වල එන 'කඩතිර හැරීමේ කවි' සහ 'ගිරිදේවී කවි' වල නාදරටා ගීතය පුරා ම දැකිය හැකි ය. 'සැරී සොඳට නිල් වරලස දිලෙන්නේ' යනුවෙන් ආරම්භ වන ජන ගායනාවේ ස්වර සංගතිය ගීතයේ ආරම්භක ගායනය සඳහා යොදගෙන තිබෙයි. ජන ගායනාවක නාද රටාවක් පවතින ආකාරයෙන් ම නිර්මාණ සඳහා යොදාගැනීම හැඳින්වෙන්නේ 'ප්‍රතිනිර්මාණ' වශයෙනි. රෝහණ බැද්දගේ ශූරීන් සිය 'සිංහල සංගීත ශෛලිය' ග්‍රන්ථයේ මේ පිළිබද මනා ලෙස විස්තර කොට තිබෙයි. ජන නාද වල පවතින යෙදුම් (Idioms) භාවිතා කොට 'නව නිර්මාණ' කළ හැකි ය. එතුමාගේ 'කන්දේ ලන්දේ' ගීතය ඇසෙනවිට අපට ඍජුව ම ජන ගීයක් සිහියට නොනැගේ . ඒ එහිදී එතුමා භාවිතා කොට අැත්තේ ජන නාදරටා වල පවතින යෙදුම් වන බැවිනි. නමුත් ලයනල් රන්වලයන්ගේ 'ගම අවුලඤ්ඤං' ගීය ඇසෙද්දී අපට ජන ගීයක් සිහියට නගා ගත හැකි ය. එ් එය තිබෙන ජන නාද රටාවට අලුතින් වචන කවා කළ ප්‍රතිනිර්මාණයක් බැවිනි. මෙය ආචාර්ය කේමදාස පවා භාවිතා කළ ක්‍රමවේදයකි. 'පුරං අප්පු' චිත්‍රපටයේ එන පරාක්‍රම කොඩිතුවක්කු රචනා කළ 'බත කා ඉවරයි' ගීය හෝ 'පිරිනිවන් මංගල්ලයේ' එන 'එක එක රිදී තොරණින් ද' ගායනය ඍජුවම ජන නාද රටා ඇසුරින් කළ ප්‍රතිනිර්මාණයෝ වෙති. කෙසේ නමුත් වඩා නිර්මාණාත්මක ක්‍රමය වන්නේ යෙදුම් භාවිතාව බව කිව හැකි ය. සංගීතය සංයෝජනයේදී පහතරට බෙරයෙන් වැයෙන සාම්පුදායික පද ඉක්මවා නිර්මාණාත්මක ස්වරූපයකින් එය යොදාගෙන තිබීම අගය කළ යුතු ය. බෙරයේ 'ලෙලවීම' කාන්තාවගේ සැඟවුණු රතිකාමාසාවන් පිළිබඳ ඉඟිකරයි. පෘතුගීසීන් විසින් මෙරට ට හඳුන්වාදුන් සංගීත භාණ්ඩයක් වූ බැංජො ගිටාරය ද ගීතයේ ජන නාද රටා ඉස්මතු කිරිමට සහ කතා නායිකාවගේ අධ්‍යාත්ම ප්‍රකාශනය ට ප්‍රබලව බලපා ඇත.
2014 වසරේ ජන සංගීතය ආශ්‍රිත හොඳම තනු නිර්මාණය ලෙස රාජ්‍ය සම්මානයෙන් පුද ලද සහ හොඳම ගීත රචනාව ට නිර්දේශිත මෙම ගීතය සමස්තයක් ලෙස ගත්කල, අවර ගණයේ ගීත ඇසීමෙන් ආතුර වූ අප චිත්ත සන්තානය ට ඉසින පිරිත් පැන් බිඳක් බඳු බව කිව යුතු ය.

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...