Monday 16 July 2018

මීයැසි විනිස - සැබෑ නොවෙනා හීන

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි..
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත, සිතින් විතරක් එක්වෙලා
අතීතය දෝත ට අරන් අපි අහස් ගඟට ම විසිකළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි //

එදා අප පියමන් කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්න ට ඔහේ තිබුණා දෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුණා පහන් පැළ මත
එ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්න ට ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//

                                                    රචනය - Nayanasena Wanninayake
                                                    සංගීතය - Nalaka Anjana Kumara
                                                    ගායනය - කසුන් කල්හාර

          

              වර්තමානයේ කාව්‍යකරණයේ සහ ගීත රචනයේ යෙදෙන ප්‍රතිභාසම්පන්න රචකයෙකු වන නයනසේන වන්නිනායකගේ ගීයක් මෙවර මීයැසි විනිස තුළින් ඉදිරිපත් කිරීම ට තීරණය කළේ ගීය රසවිඳීමෙන් ලද ආස්වාදය නිසා ම ය.
        වියෝගය, වියෝග වේදනාව, විප්‍රලම්භ ශෘංගාරය බොහෝ ගීත වලට වස්තු බීජ වී තිබෙයි. සමස්ත සිංහල ගීත සාහිත්‍යයේ වැඩි ප්‍රතිශතයක් විරහ ගීත දැයි සිතෙන තරමට ම විරහ ගී සුලබ වන්නේත්, ඒවා ගී අප සිත්ගන්නේත් බහුතරයක් දෙනා විරහ වේදනාව අත්විඳ ඇති නිසා බව උපකල්පනය කළ හැකි ය. පුරාතන මෙන් ම අද්‍යතන සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති තුළ සහ විශේෂයෙන් ම මාතර යුගයේ ලියැවිලි තුළ මෙම විප්‍රලම්භ ශෘංගාරය මුසු නිර්මාණ බහුල ව දැකිය හැකි ය.
ප්‍රේමයෙන් පරාජිත ප්‍රේමවන්තයෙකු තම අතීත ප්‍රේමයේ මිහිරි අත්දැකීම්වලින් ලද ආශ්වාදය වර්තමානයෙහි ද විඳින්නේ ඒ මිහිරෙන් මුසපත් ව අතීතයෙන් මිදිය නොහැකි පරිද්දෙනි. එවැනි පෙම්වතෙකු තම පෙම්වතිය තමා සතු කරගැනීම ට අපමණ සිහින දකිමින් සිටින අතරේ ඇය වෙනකෙකු ට අයිති වීම ඔහු කෙසේ දරාගන්න ද...ඇය අන් සතු වුව ද ඔහු ඇය පිළිබඳ දකිමින් සිටි සුන්දර සිහින වලියෙන් මිදෙන්න ට ඔහු ට සිත්දෙන්නේ නැත. ඇය හා සමග එක්වීම ට දකින ලද සිහින සැබෑ නොවුව ද ඒ සිහින අදටත් මිහිරි ය..ඇය හා එක්වීමට ඔහු දකින ලද සිහින, "සිතිජයක් සේ රවටලා සිත" යනුවෙන් අපූරු උපමාවක ට ගෙන රචකයා දක්වයි. සයුර සහ අහස එක්වන ස්ථානය වශයෙන් 'සිතිජය' නම් කළ ද, එය ඇස රවටන මායාවක් පමණි. එසේ ම ඇය සහ ඔහු ගේ එක්වීම ද සිතිජය වැනි මායාවක් වී හමාර ය. අතීතයේ සුඛදායී හැඟීම් සියල්ල හිස් අහස ට විසිකොට අතීතය අමතක කළ හැකිද? "අහස්ගඟ" නමැති රූපකය සියල්ලේ හිස් බව, ශූන්‍ය වී යෑම නිරූපණය කරයි.
පෙම්වතුන් දෙදෙනා අතීතයේ පියමන් කළ ස්ථාන වල මතකය පෙම්වතා ගේ සිත පාරවන නමුත් සුළඟ ට පවසන්නේ ඒ මතකය ඔහුගෙන් ඈත් නොකරන ලෙස නොවේද..ඔහු ඒ මතකය ම මිහිරක් කොට ගනිමින් ජීවත් වන බව පෙනෙයි. ඇයගේ ප්‍රේමය නමැති පහන දැන් නිවී ගොස් අවසන් ය. ඉතිරි වී ඇත්තේ දැවී ගිය පහන් දැල්ලෙන් නැගෙන ඉසියුම් සුවඳ පමණි..ඒ සුවඳ ට පෙම් බඳින ඔහු සුළඟ ට පවසන්නේ ඒ සුවඳ හෝ තමා ට ඉතිරි කරන ලෙසයි. අතීතයේ සොඳුරු තැන් සිහිපත් කරමින් (Nostalgia)සිය පෙම්වතියගේ වියෝව දරාගැනීමේ දුබල උත්සාහයක යෙදෙන සානුකම්පිත පෙම්වතෙකුගේ ආත්ම ප්‍රකාශනයක් බඳු මෙම ගීය වර්තමානයේ ශ්‍රී ලාංකික ගීත සාහිත්‍යයේ ඇසෙන බොහෝ විරහ ගී වල ට වඩා ඉහළින් ඔසවා තැබිය හැකි ගීයකි. 'විලාප තබමින්, ළතෝනි ගසමින්, හොටු පෙර පෙරා අඬමින්, පොළොවේ හැපෙමින් හැසිරෙන නපුංසක පෙම්වතා' අද ඇසෙන බොහෝ විරහ ගීත වල ට තේමා වන නිසා ම මෙවැනි ගීත තුලින් ඉදිරිපත් කරන සෞන්දර්ය ගුණය අප සිත්ගන්නා බව කිව යුතු ය.
කසුන් කල්හාර මෑත කාලීන යොවුන් ගායකයින් අතරින් ගායනයේ පෙරළිකාරී වෙනසක් ඇතිකළ ගායකයෙකු බව අවිවාදිත ය. ඔහුගේ ගායන ක්‍රම ශිල්ප තුළ, බටහිර පොප් ගායන ශෛලියේ මෙන් ම සමහර සම්භාව්‍ය ගායන තාක්ෂණික උපක්‍රම ද දැකිය හැකි අතර බොහෝ තරුණ ගායකයන් ද ඔහුගේ ගායනය අනුකරණය කිරීම ට පෙලඹුනු බව රහසක් නොවෙයි..කෙසේ නමුත් මෙහි ගායනය තුළ, ඔහු පෙර ගීත වල දක්වන ලද ප්‍රතිභාව දැකිය හැකිදැයි සැකයක් උපදියි. "අතීතය දෝත ට අරන් අපි අහස් ගඟට ම විසිකළා", "පහන නිවුණා" වැනි කොටස් ගායනය කිරීමේදී මීට වඩා පුහුණුවක් සහිත ව ගායනය ඔපමට්ටම් කළ හැකි ව තිබූ ස්ථාන බව පෙනෙයි. එසේ ම මෙම තනුව බටහිර සංගීත ලක්ෂණ සහිත නිසා ගායනයේ දී සමහර වාක්‍ය ඛණ්ඩ අවසානයේ ස්වර කම්පනය කරවීම් (Vibrato) යොදා ගැනීමෙන් ගීය ට මීට වඩා අලංකාරයක් එක් කළ හැකි බව ද සඳහන් කළ යුතු ය. කෙසේ නමුත් සමස්තයක් ලෙස ගත් කළ ගායනයේ භාව ප්‍රකාශනයන් ප්‍රශස්ත මට්ටමක පවතින බව පෙනෙයි..
මෙය සංගීතය සම්පාදනය කළ නාලක අංජන කුමාර නිර්මාණය කරන ලද තනු අතුරින් මෙය සුවිශේෂී කඩඉමක් සටහන් කරන තනුවක් ලෙස හඳුනාගත හැකි ය. වි‍යෝග ශෘංගාරය ඉතා හොඳින් ඉස්මතු වන පරිදි තනුව නිර්මාණය කොට ඇත. එසේ ම මෙහි සංගීත සංයෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බව කිව යුතු ය. ඔහුගේ වාදන භාණ්ඩය වන ගිටාරය ද ප්‍රශස්ත මට්ටමින් මෙහෙයවා තිබෙයි. ගීතය ආරම්භයේ දී වාදනය වන සංධ්වනික යෙදවුම්, (Symphonical Arrangements) ගීතයේ සම්භාව්‍ය බටහිර සංගීතයේ (Western Classical Music) ඇසුර විදහා දක්වයි. ෂෙලෝ සහ වයලින් යොදගනිමින් වාදනය වන ප්‍රතිවාදන (Counter parts) ද අපූරු ය. පළමු අතුරු වාදනයේ එන පියානෝ වාදන කොටසින් පෙම්වතා ප්‍රේමයෙන් පරාජය වීමෙන් ඇතිවූ මනසේ චංචල වීම පෙන්වයි. බටහිර බටනලාවෙන් වැයෙන වාදන කොටස් (Music Bits) ගීත රචනාවෙන් ඉදිරිපත් වෙන අතීත ශෝකී ස්මරණයන් (Nostalgic Expressions) තීව්‍ර කරන බව පෙනෙයි. අවසානයේ වැයෙන ගිටාර ඒකල වාදනය ද (Guitar solo) ගීය ට අලංකාරයක් එක් කොට තිබෙයි. සංගීත භාණ්ඩ බහුල නොවීම සහ සංගීත සංයෝජනය සරල වීම ද මෙහි රසය උද්දීපනය කිරීම ට හේතුවී ඇත.
අවසාන වශයෙන්, මෙම ගීය ප්‍රබල නිර්මාණකරුවන් තිදෙනෙකු ගේ ඒකාත්මික වීමෙන් නිමැවුණු අපූරු නිර්මාණයක් බව කිව හැකි ය.

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...