Monday, 16 July 2018

කලාකරු කතාබහ - ප‍්‍රියංකර රත්නායක


රූපණ ශිල්පියාගේ භුමිකාවේ ඓතිහාසික විකාශනය සහ වර්තමාන ස්වභාවය පිළිබඳ විමසුමක්

   අද අප සමග සංවාදයට එක්වන්නේ ප‍්‍රවීණ නාට්‍යවේදියෙකු වන ප‍්‍රියංකර රත්නායක මහතායි. ඔහු මේ වනවිට නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කර ඇති අතර විලියම් ක්ෂේක්ස්පියර්ගේ ඵසා
Mid Summer Night’s Dream   නාට්‍ය ඇසුරින් මෑතදී නිෂ්පාදනය කළ ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ‘ රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර ඔහු නිෂ්පාදනය කළ ‘අද වගේ දවසක ඇන්ටිගනී‘ නාට්‍යය ද මේ වන විට සාර්ථක ව රඟදක්වනු ලබයි. තිර පිටපත් රචකයෙකු, නළුවෙකු මෙන් ම කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ නාට්‍ය හා රංගකලාව සහ සිනමාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකු ද වන ඔහු සමග නළුවා ගේ භුමිකාව සහ නාට්‍ය හා රංගකලාවේ වර්තමාන ස්වභාවය පිළිබඳ කරනු ලබන සාකච්ඡුාවකි මේ.

ප‍්‍රශ්නය - නළුවා නැත්නම් රූපණ ශිල්පියා කියන්නෙ මොනවගේ කෙනෙක්ද?
පිළිතුර - නළුවා කියන්නෙ තමාගේ නොවන කිසියම් සොබාදහමේ දෙයක්, පුද්්ගලයෙක් හෝ සතෙක් අනුකරණය කරන කෙනෙක්. මෙය නාට්‍ය කලාව බිහිවීමට බොහෝ කලකට කලින් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති දෙයක්. විශේෂයෙන් ම සොබාදහම සමග තිබුණු ගණුදෙනු බේරගැනීම ට සහ අදෘශ්‍යමාන බලවේගවලින් එන බලපෑම් විද්‍යාත්මකව වටහා ගැනීමට එකල ජනයා ට නොහැකි වුණු නිසා ඒවායේ නරක බලපෑම් අවම කරගැනීමට සහ හොඳ බලපෑම් වැඩිකරගැනීමට එම බලපෑම් වලට පුද්ගල ස්වරූපයක් ආරෝපණය කළයුතු වුණා. එසේ පුද්ගලත්ව ආරෝපණයක් කළ විට එම බලවේගය සමග සංවාදයේ යෙදීමේ හැකියාව ලැබුණා. එතන තිබෙන්නේ ම තමා නොවන තවත් කෙනෙක් බවට පත්වීමක්. එතැනින් තමා රංගකලාව ආරම්භ වන්නේ.

ප‍්‍රශ්නය - මුල් කාලීන නාට්‍ය වල ප‍්‍රධාන වුනේ නළුවා ද නැතිනම් රචකයා ද?
පිළිතුර - රංගනය කලාවක් වශයෙන් විකාශනය වෙලා යද්දි රඟපාන දෙයට වඩා කියන දෙය වැදගත් වුණා. එනම් නාට්‍ය කලාව, රචකයා මූලික කරගත්තු කලාවක් (Writer’s Theatre) බවට පත්වුණා. උදාහරණයක් ගත්තොත් මුල්කාලීන ග‍්‍රීක නාට්‍ය හෝ සංස්කෘත නාට්‍ය වල රඟපෑ නළුවන් ගැන සඳහන් නොවුණත් නාට්‍ය රචකයන් ගැන සඳහන් වෙනවා. ඒ මුල් කෘතිවල නාට්‍යයේ දෘෂ්ටිය පාලනය කරනු ලැබුවේ රචකයා විසිනුයි.

ප‍්‍රශ්නය - මූලික අවධියේදී රංගනය යනු පුරුෂ මූලික කලාවක් නේද?
පිළිතුර - ඔව්. විශේෂයෙන් ම මුල්කාලීන නාට්‍ය වල ස්ත‍්‍රී චරිත නිරූපණය කරනු ලැබුවේත් පිරිමි අය විසිනුයි. සොකරි, කෝලම් වැනි ශාන්තිකර්ම වල, ජපන් නෝ නාට්‍ය වල සහ ග‍්‍රීක නාට්‍ය වල රඟපෑවේ පිරිමි අයයි. ඊඩිපස් මෙන් ම ඇන්ටිගනී චරිත රූපණය කළේ පිරිමින් විසිනුයි. ඒ අනුව මුල්කාලීන නාට්‍ය කලාව පුරුෂ මූලික කලාවක් ලෙස හඳුන්වා දිය හැකියි.

ප‍්‍රශ්නය - වේදිකාව තුළ මෙතෙක් පැවති රූපණ ශිල්පියාගේ කාර්යය භාරය 19 වන සියවසේ අග භාගයේදී සිනමා කලාව හඳුන්වාදීමෙන් පසුව යම් වෙනසකට භාජනය වෙනවා. සිනමා කලාවේ පවතින යම් යම් ලාක්ෂණික ගුණාංග හේතුවෙන් රූපණ ශිල්පියා ට සිනමා කලාව ට අනුව තම රංගය සකසා ගැනීමට සිදුවෙනවා. සිනමා රංගයේ සහ වේදිකා රංගයේ පවතින සමානතා සහ මූලික වෙනස්කම් මොනවාද?
පිළිතුර - වේදිකාවේ රංගය පේ‍්‍රක්ෂකයා තමන්ගේ ඇහෙනුයි දකින්නේ. සිනමා රංගය පේ‍්‍රක්ෂකයා දකින්නේ කැමරාවේ ඇහෙන්. කැමරාවට හැකියි රංගයට සමීප වීමට සහ දුරස්වීම ට නමුත් වේදිකා රංගයට සමීපවීම ට හෝ දුරස්වීම ට පේ්‍්‍රක්ෂකයා ට බැහැ. ඔහු එය කරන්නේ මනසින්. ඇසට හසුනොවන දේ කැමරාවට හසුවෙනවා. නළුවෙකු ගේ නැති රඟපෑමක් සිනමාවේදී ඇති රඟපෑමක් බවට පත් කළ හැකි වුවත් වේදිකාවේදී එය කළ නොහැකියි. බොරු හෝ මායාවන් ඇතිකිරීම වේදිකාවේ කළ නොහැකියි. සිනමාවේ රංගය ගොඩනැගෙන්නේ කැමරාව සහ සංස්කරණය සමගින් නමුත් වේදිකාවේ එසේ නොවෙයි. එය සජීවී මාධ්‍යයක්. සිනමාවේදී රූපණ ශිල්පියෙකුගේ අනවශ්‍ය රංගයක් සංස්කරණය කිරීමෙන් ඉවත් කළහැකි වුවත් නාට්‍යයේදී එසේ බැහැ. සිනමා කෘතියක නළුවෙකු හදිසියේ මිය ගියා කියල හිතන්න. නමුත් එහිදී ඒ වෙනුවට භාවිතා කළ හැකි තාක්ෂණික උපක‍්‍රම  ඕනෑ තරම් තිබෙනවා. Fast And Furious චිත‍්‍රපටයේ නළුවා මිය ගියත් ඔහුගේ සහෝදරයා යොදාගෙන චිත‍්‍රපටය සාර්ථකව වැඩ අවසන් කළා. නමුත් යම් නාට්‍යක නළුවෙකු හදිසියේ ඉවත් වුණොත් එය නැවත යථා තත්වයට ගැනීමට ඉතා අසීරුයි.    
    රංගනය ගත්තොත් ආසියාව ට, ජපානය ට සහ යුරෝපය ට ආවේණික වූ  සම්ප‍්‍රදායයන් තිබෙනවා. අපි සිනමාව තුලදිත් මේවා දකිනවා. මේ සියලූ රංගයන් විකාශනය වුණේ වේදිකා රංගයෙනුයි. කුරසාවා ට නෝ කබුකි රූපණය බලපෑවා. ඉන්දියානු සිනමාව ට සංස්කෘත නාට්‍යවල ලක්ෂණ බලපානවා. යුරෝපියානු සිනමා ට ස්ටැනිස්ලාව්ස්කි සහ මයිකල් චෙකොෆ් වැනි අය ඉදිරිපත් කරපු Method Acting සහ Theatre Acting   වැනි රූපණ ක‍්‍රමවේද බලපානවා. විශේෂයෙන් ම ගත්තොත් යුරෝපියානු රූපණ සම්ප‍්‍රදායට මූලිකව ම බලපාන්නේ කාව්‍ය ශාස්ත‍්‍රය(Poetics) හරහා එන ඇරිස්ටෝටලියානු සම්ප‍්‍රදාය, ආසියාතික රූපණ සම්ප‍්‍රදායට බලපාන්නේ භරතමුනිගේ නාට්‍ය ශාස්ත‍්‍රයේ මූලධර්මයි. ජපානයේ සියාමි මොතොකියෝ ගේ ෆූෂීකදෙන් වැනි කෘතියක සඳහන් වන රූපණ මූලධර්ම ජපාන රූපණ සම්ප‍්‍රදාය සකස් වීමේදී බලපානවා. ආසියාතික රංගනයේදී එකම කෘතියක නව නළු රස දක්නට ලැබෙනවා. පෙරදිග සිනමා කෘතියක ඇඬෙන, සිනායන, ශෘංගාරාත්මක සහ භයානක සිදුවීම් සහ සටන් ආදිය එකම කෘතියක දකින්න පුළුවන්. නමුත් බටහිරදි ඒක ඇඬෙන(Tragedy) චිත‍්‍රපටි වෙනමත්, හිනා යන(Horror) චිත‍්‍රපටි වෙනමත් ත‍්‍රාසය උපදවන (Comedy) චිත‍්‍රපට වෙනමත් ආදී ලෙස ශානරකරණයක ට ලක්වෙනවා. ඒත් ඉන්දියානු හෝ ශ‍්‍රී ලාකේය චිත‍්‍රපට එසේ ප‍්‍රබල ශානරකරණයක ට ලක්වන්නේ නැහැ. ඒ කෘතිවල භරතමුනි කියපු ආකාරයට එකම කෘතියක නව නළු රස ලබාදීමටයි උත්සාහ කරන්නෙ. බටහිර සිනමා කෘතිවල පවතින ඒ ශානරකරණය ට අදාළ ඉතිහාසය ග‍්‍රීක නාට්‍ය සම්ප‍්‍රදාය දක්වා දිවයනවා. බටහිර දී ඒ එක් එක් ශානරය ට ගැලපෙන පරිදි රූපණ ශිල්පියා හැඩගැසිය යුතුයි. නමුත් පෙරදිගදි ඒ සියලූ හැකියාවන් රූපණ ශිල්පියා සතුවිය යුතුයි.

ප‍්‍රශ්නය - මෙසේ වේදිකාවෙන් බිහිවී පෝෂණය වුණු රූපණ ශිල්පය සිනමාව තුලදී යම් වෙනසකට භාජනය වෙමින් සිනමාව ට අනන්‍ය රූපණ සම්ප‍්‍රදායක් ගොඩනගා ගන්නවා. පසුකාලීනව රූපවාහිනිය හඳුන්වාදීමෙන් රූපණ කලාවේ සිදුවන වෙනස්කම් මොනවාද?
පිළිතුර - රූපවාහිනය කලා මාධ්‍යයක් නෙවෙයි. එය සංනිවේදන මාධ්‍යයක්. රූපවාහිනිය තුල තිබෙන ටෙලිනාට්‍ය ඇතුලෙ කලාව තිබුණත් වාර්තා වැඩසටහන්, ප‍්‍රවෘත්ති, වෛද්‍ය වැඩසටහන්, ආදියේ කලාව නැහැ. රූපවාහිනිය කියන්නෙ බලන තැනක් නෙවෙයි පෙන්වන තැනක්. වෙන වැඩක් කරන අතරතුරේ අපට රූපවාහිනය බැලිය හැකියි. නමුත් සිනමා පටයක් හෝ නාට්‍යයක් එසේ නැරඹිය නොහැකියි. ටෙලිවිෂනයේ දුර රූප අඩුයි සමීප රූප වැඩියි. සිනමා පටයකදී රූපණ ශීල්පියාගේ මුහුණේ ඇතිවන සාත්වික හැඟීම් බෙදාගත හැකිවුවත් රූපවාහිනියේ එසේ කළ නොහැකියි. රූපවාහිනියෙදි පේ‍්‍රක්ෂකයා බලාසිටින්නේ කියන දේ දිහායි. ඔහු කතාව අල්ලා ගන්නේ දෙබස් මගින් මිස රූපයෙන් නොවෙයිි. නමුත් චිත‍්‍රපටයේදී කතාව අල්ලාගන්නේ රූපයෙනුයි. රූපවාහිනියේ තාක්ෂණික කාරණා සමග රූපණයේ යම් යම් වෙනස්කම් සහ අනුවර්තය වීම් සිදුවුවත් එහිදීත් භාවිතා වන්නේ වේදිකා නාට්‍ය හරහා විකාශනය වන රූපණ ක‍්‍රමවේද ම තමයි.

ප‍්‍රශ්නය - වර්තමානයේ සිදුවී ඇති සන්නිවේදනයේ සහ තාක්ෂණයේ දියුණුව, සමාජ ආර්ථික විපරීත තත්වයන් සමග අතීතයේ පැවති සංස්කෘතික නළුවාගේ භුමිකාව තවදුරටත් වලංගුද? වර්තමානය වන විට නළුවාගේ ආස්ථානය කුමක්ද?
පිළිතුර - මෙය තීරණය වන්නේ කලාව සම්බන්ධයෙන් මිනිස්සු කෙතරම් උනන්දුද කියන කාරණය මත සහ නළුවා පේ‍්‍රක්ෂකයා සමග කරන ගණූදෙනුව මත. රූපණ ශිල්පියෙක් වේදිකාව, සිනමාව සහ රූපවාහිනය යන විෂයයන් තුන ම පිළිබඳ හොඳ හැදෑරීමක් සහිත නම් ඔහුට මේ තුනේ ම හොඳින් සැරිසැරිය හැකියි. එසේ ම ඒ රූපණ ශිල්පියා ට සමාජය ට විශාල බලපෑමක් ද කළ හැකියි. එහෙම උනාම ඔහු ට විවිධ සමාජ පන්තීන් ට ආමන්ත‍්‍රණය කළ හැකියි. රූපවාහිනියේ ආගමනයත් එක්ක මිනිස්සු රූපවාහිනිය ට සමීප වෙනවා. ඈත ගමකට ගිහින් බැලූවොත් ඒ ගම්වල අය රූපවාහිනී නළුවන් දන්නවා නමුත් සිනමා නළුවන් අඳුනන්නෙ නැහැ. රූපවාහිනියේ ජනප‍්‍රිය වෙන්නේ බාහිර පෙනුමක් සහිත නළුවායි. එහෙම උනාම ඒ නළුවා බලන්නේ තමන්ගේ බාහිර පෙනුම නඩත්තු කිරීම ට පමණයි. ඒ නිසා සංස්කෘතික නළුවා බිහිවීම සිදුවන්නේ නැහැ. වේදිකාවේදී හෝ සිනමාවේදී පේ‍්‍රක්ෂකයා යම් කැපකිරිමක් සහ ක‍්‍රය ශක්තියක් වැයකරලායි කලාකෘතිය රසවිඳින්නේ. නමුත් රූපවාහිනියේ එසේ නැහැ. රූපවාහිනිය බැලීම ට පේ‍්‍රක්ෂකයා කිසිදු කැපකිරීමක් කරන්නෙ නැහැ. ඒ නිසා පේ‍්‍රක්ෂකයා ට රූපවාහිනී නළුවා සිටියත් එකයි නැතත් එකයි. මේ අනුව සංස්කෘතික නළුවාගේ භුමිකාව වෙනස් වීම ට රූපවාහිනියේ ආගමනය විශාල බලපෑමක් කර ඇති බව පේනවා.

ප‍්‍රශ්නය - ලංකාවේ සිනමාව ට නාට්‍ය කලාවට නැතිනම් පොදුවේ ගතහොත් රූපණ කලාව ට ලැබෙන රාජ්‍ය අනුග‍්‍රය ප‍්‍රමාණවත් ද?
පිළිතුර - අපේ රටේ සිනමාව හෝ නාට්‍ය කලාව අපේ සංස්කෘතික ජීවිතය ට බද්ධ වෙලා නැහැ. සිනමාව හෝ නාට්‍ය කලාව පහළට ම කඩන් වැටුණත් එය ආණ්ඩුවට වැදගත් නැහැ. රාජ්‍ය ව්‍යූහයේ වැදගත් අංග ලෙස සිනමාව හෝ නාට්‍ය කලාව සැළකෙන්නෙ නැහැ. නමුත් ඉන්දියාව වැනි රටක එසේ නැහැ. එරට පාර්ලිමේන්තුවෙන් භාරත රංග ඹහෝත්සවය ට විශාල මුදලක් වැය කරනවා. නාට්‍ය පාසල්, සිනමා පාසල් නඩත්තු කරනවා. ඒ වගේම ඉන්දියානු චිත‍්‍රපටකරුවන් එරට ට විශාල විදේශ විනිමයක් ගේනවා. පහුගිය අවුරුදු දහයේ අපේ රාජ්‍ය විසින් සිනමාකරුවන් කීදෙනෙක් බිහිකරලා තියෙනවද? නාට්‍යකරුවෝ කී දෙනෙකුට නාට්‍ය හදන්න මුදල් දීලා තියෙනවද? නාට්‍ය අනුමණ්ඩලයෙන් කිසිදෙයක් කරන්නෙ නැහැු. ඉදිරියේදී නාට්‍යකරුවො දහ දෙනෙක් බිහිකරන්න, රූපණ කලාව දියුණු කරන්න එහෙමත් නැතිනම් හොඳ නාට්‍ය පේ‍්‍රක්ෂකාගාරය ට අරන් යන්න නාට්‍ය අනුමණ්ඩලය ට තිබෙන වැඩපිළිවෙල මොකක්ද? චිත‍්‍රපට සංස්ථාවේ නිහාල්සිංහ, තිස්ස අබේසේකර යුගවලදි සිනමාකරුවන් ට චිත‍්‍රපට නිර්මාණය කරන්න මුදල් ලබාදුන්නා. ඒ හරහා දක්ෂ සිනමාකරුවන් බිහිවුණා. ඉදිරි කාලයෙදි සිනමාකරුවන් පස්දෙනෙක් බිහිකරන්න අද චිත‍්‍රපට සංස්ථාව ට තිබෙන වැඩපිළිවෙල මොකක්ද?

ප‍්‍රශ්නය - මේ රටේ ඇකඩමියාව ගත්තොත් ප‍්‍රධාන වශයෙන් කැලණිය, සෞන්දර්ය සහ ශ‍්‍රීපාලි යන විශ්වවිද්‍යාල ත‍්‍රිත්වය තුලින් වසරක ට සැළකිය යුතු නාට්‍ය සහ රංගකලා උපාධිධාරීන් පිරිසක් බිහිකරනවා. ඔවුන්ගෙන් රූපණ කලාවට ලැබෙන දායකත්වය කෙබඳුද? එය සෑහීමකට පත්විය හැකිද?
පිළිතුර - නාට්‍ය හා රංගකලාව ඉගැන්වීමෙන් බලාපොරොත්තු වෙන්නෙ සෞන්දර්යාත්මක මනුස්සයෙක්, හොඳ නළුවෙක්, හොඳ ගුරුවරයෙක්, හොඳ සම්බන්ධීකරණ නිළධාරියෙක් බිහිකරන එකයි. නමුත් අපි මේ කරන වැඬේට විශ්ව විද්‍යාලය උදව් කරන්නෙ නැහැ. අපි නාට්‍යයක් කරන්න සල්ලි ඉල්ලූවට දෙන්නෙ නැහැ නමුත් කිසි වැදගැම්මකට නැති වැඩවලට වියදං කරනවා. ළමයි නාට්‍ය පෙන්නන්නේ ආධාර එකතු කරලා. ඒවා මහජනතාවගේ මුදල්. අපි කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව විෂය උගන්නන්න පටන් අරන් අවුරුදු දහයක් වෙනවා තවම එක ස්ථිර ගුරුවරයයි ඉන්නෙ. විශ්ව විද්‍යාල වල නාට්‍ය කලාව පවත්වාගෙන යන්නේ ආණ්ඩුවේ හොඳකමක්වත්,  විශ්ව විද්‍යාලවල හොඳකමක් වත් නිසා නෙවෙයි ඒ විෂය උගන්වන තමන්ගේ වැටුප, කාලය, ශ‍්‍රමය ගැන නොසිතන ආචාර්යවරුන්ගේ උවමනාව නිසායි. ඔවුන් රංග කලාව ට දක්වන කැපවීම නිසායි. එළියේ ඉඳගෙන විශ්ව විද්‍යාල නාට්‍ය විවේචනය කරන බොහෝ දෙනෙක් මේක ඇතුලෙ තියෙන අර්බුධය, දේශපාලන අරගලය, ගුරුවරු මහන්සි වෙන විදිය ආදිය ගැන කතාකරන්නෙ නැහැ. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ විශ්ව විද්‍යාල සම්බන්ධ නාට්‍ය පහක් විතර තියෙනවා. යෞවන නාට්‍ය උළෙලෙත් එහෙමයි.  විද්‍යාර්ථීන් විශාල ප‍්‍රමාණයක් මේවට සම්බන්ධ වුණා. කවුද ඒවා අගය කරන්නේ? මොවුන් එළියට ගියාම නාට්‍ය කරාවි. දැනටත් විශාල නාට්‍ය ප‍්‍රමාණයක ට ඔවුන් දායක වෙලා ඉන්නවා. මේ විද්‍යාර්ථීන් නාට්‍ය ශිල්පීන් පමණක් විය යුතු නැහැ. ඔවුන් ඈත ගම්වලට යා යුතුයි. ගිහිල්ලා ඒවයේ ඉන්න දරුවන් රසඥතාවයෙන් ඉහළ පිරිසක් බවට පත් කළ යුතුයි. සෞන්දර්යාත්මක මිනිසුන් බිහිකළ යුතුයි.

සාකච්ඡාව - අමිත් ලියනගේ




ගේ

මීයැසි විනිස - මෂේන්කා


           පසුගිය කාල සීමාවේ සිත් ගත් ගීයක් පිළිබඳ ලියන්න ට සොයා බැලුවත් සිදුවුණේ අපූර්වත්වයක් නැති ඒකාකාරී වචන, ඒක තානමය සංගීත තනු, විවිධත්වයක් නැති සංගීත අධ්‍යක්ෂණ සහිත ගීත ඇසීමෙන් හෙම්බත් වීම පමණයි..මේ අතරේ අැසූ ගීත අතරින් යම් පමණක හෝ වෙනස් රසයක් සහිත ගීතයක් මෙවර මම තෝරගන්න තීරණය කළේ විශේෂයෙන් ම මෙහි ඇති සංගීත භාවිතාව ට මගේ සිත ඇදී ගිය නිසාමයි.
ලොව සුසුම් මියෙන හැන්දෑයාමේ
ඉර ගලින් වැටෙන ගොම්මන් යාමේ
කොහෙද මගේ කුමාරි - මහද දිනුව දයාවි
සයන් ගගේ ශ්‍රියාවි - නැතිද මගේ ප්‍රියාවි
මෂේන්කා

මොස්කව් නගරේ සිංදු කිරිල්ලී

හිමදිය කතරේ පාවි තුරුල්වී
ඉගිල යන්න තටු ලැබුනාදෝ
මෂේන්කා

ක්‍රෙම්ලින් කොටුවේ සැඟව ගියාදෝ

මීවිත බඳුනේ නුඹ ගිලුනාදෝ
පුෂ්කින් උයනේ නැතිද හිඳින්නේ
මෂේන්කා

                    රචනය - Mandawala Rashmika
            සංගීතය / ගායනය - Thisara Bandara

                 සුසුම් මැදින් දවසේ රාජකාරි අතරේ දවස'රින ජනතාවගේ සුසුම් හමාර වන්නේ සන්ධ්‍යාව එළැඹීමත් සමඟ ය. එවැනි ඉර බැස යන සන්ධ්‍යාවක තම අහිමි වූ ප්‍රියාවියගේ මතකයන් ඇසුරෙන් අතීතාවර්ජනයක යෙදෙන පෙම්වතෙකුගේ ආත්ම ප්‍රකාශනයක් ලෙස මෙම ගීය පෙන්වා දිය හැකි ය. මෙම ගීතය ට පසුබිම් වන්නේ රුසියානු සමාජයයි. නිර්මාණකරුවෙකු ට අත්දැකීම් ලැබිය හැකි ආකාර කිහිපයක් පිළිබඳ ව කාව්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙයි. නිර්මාණ කරුවා භෞතික වශයෙන් ලබන අත්දැකීම්, අැසීමෙන්, දැකීමෙන් හෝ කියැවීමෙන් ලබන අත්දැකීම් වශයෙන් මේවා වර්ග කළ හැකි ය. සරච්චින්ද්‍ර මළගිය ඇත්තෝ රචනා කිරීමේදී ඔහු ජපන් සමාජය භෞතික වශයෙන් ස්පර්ෂ කොට තිබෙයි. නමුත් මෙම රචකයා තම නිර්මාණය ට අනුභූතිය සපයා ගන්නේ එක්කෝ කියවීමෙන් හෝ අැසීමෙන් විය හැකි බව උපකල්පනය කළ හැක්කේ ඔහු රුසියානු පරිසරය තුළ භෞතික වශයෙන් සැරිසරා නැති බව මා පෞද්ගලිකව ම දන්නා බැවිනි.
ගීතයේ ඇති දුරවබෝධ වචනවලින් තොර සරල පද මාලාව තුලින් පෙමිවතා තම පෙම්වතිය සමග පෙම්සුව විඳි ස්ථාන පිළිබඳ අතීත මතකාවර්ජනයන් ඇසුරෙන් රචකයා පෙම්වතාගේ විප්‍රලම්භ ශෘංගාරිත හැඟීම ඉස්මතු කිරීමට උත්සාහ දරන බව පෙනෙයි. පෙම්වතා තම ප්‍රියාවිය සමග සැරිසැරූ සයන් ගඟ අසබඩ, ක්‍රෙම්ලින් චතුරශ්‍රයේ, පුෂ්කින් උයනේ සහ මොස්කව් නගරයේ ඇය අද නැත. පෙම්වතා ට අතීත මතකය පමණක් උරුම කොට ඇය සමුගෙන ගොසිනි. නිතර ආදර කතා කියමින්, සිනහසෙමින්, හිමදිය මිදුනු බිමේ සීතලේ තුරුල් වෙමින් ඇය සමග ගත කළ ඒ අතීතය අද සිහිනයක් පමණි. රචකයා මෙහිදී අැයගේ මුඛරිකම දැනවීම සඳහා යොදා ඇති 'සිංදු කිරිල්ලී' යන රූපකය එතැන ට යෝග්‍ය ය. රචකයා ට හිමදිය මිදුනු බිම "හිමදිය කතරක්" වී ඇතැයි රූපකාර්ථවත් ව පවසයි. සාමාන්‍යයෙන් කාන්තාරයක් යනු ජලශූන්‍ය ප්‍රදේශයකි. ඇය නොමැති හිමබිම ඔහුට කාන්තාරයක්මැයි. ඇය නිදහසේ ගැවසුණු මේ ස්ථානවල අද ඇත්තේ සුන්දර මතකයක් ම පමණි. ඇය ඒ මතකයන් තුළ සැඟවී ගොසිනි.
ගීතයේ සංගීත භාවිතාව ගැන ද කතා කළ යුතුම ය. තිසර බණ්ඩාර සංගීතකරණය ට නවකයෙකු වුව ද ඔහු සංගීත පරම්පරාවක නවත ම පුරුකක් ලෙස හඳුනාගැනීම වඩා උචිත ය. ඔහු මෙම ගීතයේ සංගීතය මෙහෙයවා ඇති ආකාරය අනුව ඔහු සංගීත ක්ෂේත්‍රය ට ආධුනිකයෙකු බව නොඇඟවෙයි. විශේෂයෙන් ම රුසියානු සංගීතය ඇසුරු කරගනිමින් ගීත රචනයේ ඇති ආනුභූතික ලක්ෂණ වඩා තීව්‍ර කරමින් අප ට නැවුම් රසයක් ලබාදීමට ඔහු සමත්වී ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම මෙහි මයිනර් කෝඩ් එකකින් ගලායන ගීතය අතීතාවර්ජන භාව ප්‍රකාශනයක ට (Nostalgic expression) වඩා සුදුසු ය. මෙහි යොදාගෙන ඇති සංගීත භාණ්ඩ එනම් බැලලයිකාව, එකෝඩියනය ආදිය රුසියානු සංගීතය ට අනන්‍ය නාදයන් නිෂ්පාදනය කරයි. විශේෂයෙන් ම රුසියානු ගැමි සංගීතයේ බහුලව ද රුසියානු සම්භාව්‍ය සංගීතයේ සුළු වශයෙන් ද භාවිතා වන බැලලයිකාව තත් තුනක් සහිත තත් වාද්‍ය භාණ්ඩයකි. එයින් නගන මිහිරි නාදය අපට නිතැතින් ම රුසියානු සංස්කෘතිය සිහිගන්වයි. මෙහි යොදාගගෙන ඇති නාද රිද්මය ද රුසියානු පොල්කා (මෙම නර්තන සම්ප්‍රදාය බහුලව භාවිතා වන්නේ යුරෝපීය රටවල් වල ය) වැනි නර්තන සම්ප්‍රදායක බහුල ව යෙදෙන රිද්මයකි. ගීතය පුරා ම මයිනර් කෝඩ් එකකින් යෙදෙන ස්වර රචනාව අන්තරා කොටසේදී මේජර් කෝඩ් එකකට මාරුවීම පළවෙනි අන්තරා කොටසේදී මනාව ගැලපුන ද දෙවෙනි අන්තරා කොටසේදී යම් නොගැලපීමක් ඇති කරයි. පළමු අන්තරා කොටසේ පෙම්වතිය සමග ගෙවුනු ප්‍රහර්ෂාත්මත අතීතය සිහිපත් කිරීමට මේජර් කෝඩ් එක මනාව ගැලපෙයි. නමුත් දෙවෙනි අන්තරා කොටසේ මේජර් කෝඩ් කොටසේ කියැවෙන්නේ ඇයගේ අහිමිවීම බැවින් ප්‍රහර්ෂාත්මක බව ඇතිකරන කෝඩ් එකක් යෙදීම නොගැලපෙන බව පෙනෙයි. වයලීන කොටස් වාදනයේදී රුසියානු සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ද රචකයාගේ රුසියානු අනුභුතිය කුළුගන්වයි. අපරදිග වයලීන වාදනයේදී එන ප්‍රධාන වාද්‍ය සම්ප්‍රදායයන් අතරින් ජර්මානු සහ රුසියානු තාක්ෂණික ක්‍රමශිල්ප අතර පැහැදිලි වෙනසක් තිබෙයි. මෙහි ඉතා හොඳින් වයලීනය රුසියානු වාදන තාක්ෂණය අනුව මෙහෙයවා ඇත.මේ සියලු ලක්ෂණ තිසරගේ සංගීත අධ්‍යක්ෂණයේ ප්‍රතිභාව විශද කරන බව පැවසිය යුතුම ය.
මෙහි ගායනයේ දී සමහර වචන නිවැරදිව උච්ඡාරණය වී නැතිබවක් පෙනෙයි.."මෂේන්කා" "(උයනේ නැතිද) හිඳින්නේ" වැනි කොටස් වල උච්ඡාරණ දෝෂ පවතියි, තරමක් විවෘත කටහඬකින් ගායනා වූවා නම් මෙයට වඩා ගීතයට ආලෝකයක් ලැබිය හැකිව තිබූ බව අපේ මතයයි.
මෙය අතිශය සරල පදමාලාවක් වුව ද රශ්මිකගේ උත්සාහය අගය කළයුතු වන්නේ වෙනස් අනුභූතීන් සොයා යෑම ට ඔහු දරන තැත නිසාම ය. ඔහු රචනා කරන බොහෝ ගීතවල නැවුම් අනුභූතීන් ඇසුරු කිරීමට ඔහු ප්‍රිය කරන බව පෙනෙයි. තව තවත් කාව්‍ය ලක්ෂණ, ගීතාත්මක ලක්ෂණ ගීතයට එක් කර ගැනීම ට සහ වඩාත් ම උචිත ගැලපෙන වචන තෝරාගැනීම ඔහු තවත් සිය අධ්‍යයන පරාසය පුළුල් කරගත යුතු බව පෙනෙයි. අද යුගයට අවැසි එවැනි නව්‍ය තේමා සොයා යන නිර්මාණ කරුවන් මිස ඕලාරික පල්හෑලි, අදෝනා, වැල්වටාරම් ලියන්නන් නොවෙයි. තිසර බණ්ඩාර සංගීතඥයෙකු වශයෙන් මේ දක්වන ප්‍රතිභාව සිංහල සුභාවිත ගීතය සම්බන්ධයෙන් අප සිත් සතන් තුළ සැනසුම් සුසුමක් ඇතිකරන බව කිව යුතු ය. මෙවැන් වෙනස් තේමා තෝරාගනිමින් තව තවත් යහපත් නිර්මාණ බිහිකිරීමට ඔබ දෙදෙනාට ම හැකියාව ලැබේවා!


සළරූ විනිස - Ame´lie (අැමෙලි)

 Ame´lie (අැමෙලි)

*අධ්‍යක්ෂණය - ජීන් පියරේ ජූනට්
*නිෂ්පාදනය - ජීන් මාර්ක් ඩිෂැම්ප්ස් / ක්ලෝඩි ඔසාඩ්
*තිරරචනය - ගිලෝමි ලොරන්ට්
*ප්‍රධාන නළු නිළියන් - ඕඩ්‍රි ටෝටු / මැතිව් කැසෝවිට්ස් / රුෆුස් සර්ජි මර්ලින් / ලොරෙල්ලා ක්‍රැවෝටා
*සංගීතය - යාන් ටියර්සන්
*සංස්කරණය - හර්වි ෂ්නීඩ්
*ධාවන කාලය - මිනිත්තු 123
*නිෂ්පාදිත රට - ප්‍රංශය
*නිෂ්පාදිත වර්ෂය - 2001
*නිෂ්පාදන වියදම - ඩොලර් මිලියන 10
*ආදායම - ඩොලර් මිලියන 174

රොමාන්තික සුඛාන්ත (Romantic Comedy) ගණයට අයත් වන මෙම චිත්‍රපටය සමකාලීන පැරිසියේ ජීවන රටාව අළලා සකස් වී තිබෙයි. හුදෙකලා ලෙස ජීවන සටන ට මුහුණදෙන ලජ්ජාශීලි වේටර්වරියක ගේ ජීවිත සිදුවීම් පෙළක් මෙම චිත්‍රපටය ට පාදක වී ඇත. ඇමලි කුඩා කල සිට හුදෙකලා ජීවිතයක ට හුරු පුරුදු වුව ද ඇය ඉහළ පරිකල්පන ශක්තියකින් හෙබි දඟකාර චරිතයක් වූව‍ා ය. පල්ලියේ වහළෙන් බිමට පනින පුද්ගලයෙකු සිරුර මත පතිතවීමෙන් ඇගේ මව මියයන අතර ඉන් පසු ව ඇය නිවසින් බැහැර වී වේටර්වරියක ලෙස සේවය කරයි.
ඩයනා කුමරිය ගේ මරණය රූපවාහිනියෙන් දකින ඈ එයින් අන්දමන්ද වී සිය සුවඳ විලවුන් බෝතලයේ මූඩිය බිම පතිත කරගන්නා අතර එය පෙරළී ගොස් වැදීමෙන් බිත්තියේ පිඟන් ගඩොලක් බුරුල් වෙයි. එයින් බිත්තියේ සඟවා තිබූ පෙට්ටියක් මතුකර ගැනීම ට ඇය ට හැකිවෙයි. එහි,ඇත්තේ මීට වසර 40 කට පමණ පෙර ඇයගේ වත්මන් නවාතැනේ ළමා කලය ගත කළ ළමයෙකු ගේ සෙල්ලම් බඩු එකතුව කි. එම පෙට්ටිය අදාළ පුද්ගලයා ට ලබා දී ඔහු සතුටු කිරීම ඇයගේ අපේක්ෂාවයි. එමෙන් ම ඇය බොහෝ දෙනෙකුගේ ජීවිත වල ට සතුට ගෙන ඒමට උත්සාහ දරයි. දුම්රිය පොළේ සිටින අන්ධ මිනිසා ට වටපිට විස්තර කරමින් දුම්රිය ස්ථානය ට රැගෙන යාම, ලොව වටා සංචාරය කිරීමේ නොතිත් ආශාවෙන් සිටින තම පියාගේ සිහිවටනයක් ගුවන් සේවිකාවක වන ඇයගේ මිතුරියක ට දී ලෝකයේ විවිධ ස්ථානවල සිට එය ඡායාරූපගත කරවා පියා ට තැපැල් මගින් එවීම, අවන්හලේ සහායිකාව සහ ගණුදෙනුකරුවෙකු අතර සුහදතාවයක් ඇතිකොට එය ඔවුන් දෙදෙනා අතර කායික සම්භෝගයක් බවට පත්කිරීම වැනි සිදුවීම් උදාහරණ ලෙස පැවසිය හැකි ය.
භාවිතයෙන් ඉවත් කරනු ලබන පාස්පෝට් ඡායාරූප එකතු කරනු ලබන තරුණයෙකු දකින ඇමෙලි ඔහු කෙරෙහි ආදරයක් ඇතිකර ගනී. අහම්බෙන් ඔහු අතින් බිම වැටෙන ඡායාරූප ඇල්බමයක් අහුලාගන්නා ඈ ඔහුගේ නම 'නිනෝ' බව සොයා ගනියි. නමුත් අැය නැවත ඔහුට එම ඇල්බමය ලබාදෙන්නේ ඔහු වෙහෙස ට පත්කරන ක්‍රියාකාරකම් කිහිපයක් කිරීමෙන් අනතුරුවයි. ඇය විසින් ඔහු මුණ ගැසීම ට හමුවීම් කිහිපයක් සූදානම් කරගත්ත ද ඇයගේ සිතෙහි පවත්නා චකිතය, කලබලකාරී ගතිය සහ ලැජ්ජාශීලී බව හේතුවෙන් එම අවස්ථා මඟහැරී යයි. නමුත් අවසානයේ දී ඔහු ඇයගේ නිවහනට ම පැමිණ ඇය හා කායික ව සම්භෝග වී රැයක් පහන් කරයි. අවසන 'ඇමෙලි' සිය ජීවිතයේ පැතූ ප්‍රීතිය අත්කර ගනියි.
මෙම චිත්‍රපටය පැරීසියේ 'මොන්ට්මැට්‍රී' හි රූගත කොට තිබෙයි. මෙහි පරිගණක ගත කල්පිත රූප නිර්මාණ කිහිපයක් දැකිය හැකි වෙයි. සමස්ත නිර්මාණය වර්ණවත් ය (Colorful). කැමරා භාවිතය, ජිබ් ආම් ආදීය භාවිතා කොට ඇති ආකාරය ප්‍රශස්ත ය. සංගීතයේ දී එකෝඩියනය භාවිතයෙන් සමස්ත චිත්‍රපටයේ රිද්මය ඒකාත්මික කිරීමට උත්සාහ දරා තිබෙයි. තාක්ෂණික උපක්‍රම භාවිතය ද හොඳ මට්ටමක පවතියි. කලා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ද කතාවට සාධාරණයක් ‍කොට ඇති බව පෙනෙයි. කතන්දරය පැවසීමේ දී ඇතිවන ඒකාකාරීත්වය බිඳීමට අධ්‍යක්ෂකවරයා ප්‍රහසනාත්මක සිදුවීම් යොදාගෙන ඇති වුව ද කතාව ප්‍රේක්ෂකයා ඇද බැඳ ගැනීම ට තරම් ආකර්ශනශීලී වී ඇති බවක් නොපෙනෙයි.

මීයැසි විනිස - සැබෑ නොවෙනා හීන

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි..
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සිතිජයක් සේ රවටලා සිත, සිතින් විතරක් එක්වෙලා
අතීතය දෝත ට අරන් අපි අහස් ගඟට ම විසිකළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි //

එදා අප පියමන් කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්න ට ඔහේ තිබුණා දෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුණා පහන් පැළ මත
එ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්න ට ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි//

                                                    රචනය - Nayanasena Wanninayake
                                                    සංගීතය - Nalaka Anjana Kumara
                                                    ගායනය - කසුන් කල්හාර

          

              වර්තමානයේ කාව්‍යකරණයේ සහ ගීත රචනයේ යෙදෙන ප්‍රතිභාසම්පන්න රචකයෙකු වන නයනසේන වන්නිනායකගේ ගීයක් මෙවර මීයැසි විනිස තුළින් ඉදිරිපත් කිරීම ට තීරණය කළේ ගීය රසවිඳීමෙන් ලද ආස්වාදය නිසා ම ය.
        වියෝගය, වියෝග වේදනාව, විප්‍රලම්භ ශෘංගාරය බොහෝ ගීත වලට වස්තු බීජ වී තිබෙයි. සමස්ත සිංහල ගීත සාහිත්‍යයේ වැඩි ප්‍රතිශතයක් විරහ ගීත දැයි සිතෙන තරමට ම විරහ ගී සුලබ වන්නේත්, ඒවා ගී අප සිත්ගන්නේත් බහුතරයක් දෙනා විරහ වේදනාව අත්විඳ ඇති නිසා බව උපකල්පනය කළ හැකි ය. පුරාතන මෙන් ම අද්‍යතන සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති තුළ සහ විශේෂයෙන් ම මාතර යුගයේ ලියැවිලි තුළ මෙම විප්‍රලම්භ ශෘංගාරය මුසු නිර්මාණ බහුල ව දැකිය හැකි ය.
ප්‍රේමයෙන් පරාජිත ප්‍රේමවන්තයෙකු තම අතීත ප්‍රේමයේ මිහිරි අත්දැකීම්වලින් ලද ආශ්වාදය වර්තමානයෙහි ද විඳින්නේ ඒ මිහිරෙන් මුසපත් ව අතීතයෙන් මිදිය නොහැකි පරිද්දෙනි. එවැනි පෙම්වතෙකු තම පෙම්වතිය තමා සතු කරගැනීම ට අපමණ සිහින දකිමින් සිටින අතරේ ඇය වෙනකෙකු ට අයිති වීම ඔහු කෙසේ දරාගන්න ද...ඇය අන් සතු වුව ද ඔහු ඇය පිළිබඳ දකිමින් සිටි සුන්දර සිහින වලියෙන් මිදෙන්න ට ඔහු ට සිත්දෙන්නේ නැත. ඇය හා සමග එක්වීම ට දකින ලද සිහින සැබෑ නොවුව ද ඒ සිහින අදටත් මිහිරි ය..ඇය හා එක්වීමට ඔහු දකින ලද සිහින, "සිතිජයක් සේ රවටලා සිත" යනුවෙන් අපූරු උපමාවක ට ගෙන රචකයා දක්වයි. සයුර සහ අහස එක්වන ස්ථානය වශයෙන් 'සිතිජය' නම් කළ ද, එය ඇස රවටන මායාවක් පමණි. එසේ ම ඇය සහ ඔහු ගේ එක්වීම ද සිතිජය වැනි මායාවක් වී හමාර ය. අතීතයේ සුඛදායී හැඟීම් සියල්ල හිස් අහස ට විසිකොට අතීතය අමතක කළ හැකිද? "අහස්ගඟ" නමැති රූපකය සියල්ලේ හිස් බව, ශූන්‍ය වී යෑම නිරූපණය කරයි.
පෙම්වතුන් දෙදෙනා අතීතයේ පියමන් කළ ස්ථාන වල මතකය පෙම්වතා ගේ සිත පාරවන නමුත් සුළඟ ට පවසන්නේ ඒ මතකය ඔහුගෙන් ඈත් නොකරන ලෙස නොවේද..ඔහු ඒ මතකය ම මිහිරක් කොට ගනිමින් ජීවත් වන බව පෙනෙයි. ඇයගේ ප්‍රේමය නමැති පහන දැන් නිවී ගොස් අවසන් ය. ඉතිරි වී ඇත්තේ දැවී ගිය පහන් දැල්ලෙන් නැගෙන ඉසියුම් සුවඳ පමණි..ඒ සුවඳ ට පෙම් බඳින ඔහු සුළඟ ට පවසන්නේ ඒ සුවඳ හෝ තමා ට ඉතිරි කරන ලෙසයි. අතීතයේ සොඳුරු තැන් සිහිපත් කරමින් (Nostalgia)සිය පෙම්වතියගේ වියෝව දරාගැනීමේ දුබල උත්සාහයක යෙදෙන සානුකම්පිත පෙම්වතෙකුගේ ආත්ම ප්‍රකාශනයක් බඳු මෙම ගීය වර්තමානයේ ශ්‍රී ලාංකික ගීත සාහිත්‍යයේ ඇසෙන බොහෝ විරහ ගී වල ට වඩා ඉහළින් ඔසවා තැබිය හැකි ගීයකි. 'විලාප තබමින්, ළතෝනි ගසමින්, හොටු පෙර පෙරා අඬමින්, පොළොවේ හැපෙමින් හැසිරෙන නපුංසක පෙම්වතා' අද ඇසෙන බොහෝ විරහ ගීත වල ට තේමා වන නිසා ම මෙවැනි ගීත තුලින් ඉදිරිපත් කරන සෞන්දර්ය ගුණය අප සිත්ගන්නා බව කිව යුතු ය.
කසුන් කල්හාර මෑත කාලීන යොවුන් ගායකයින් අතරින් ගායනයේ පෙරළිකාරී වෙනසක් ඇතිකළ ගායකයෙකු බව අවිවාදිත ය. ඔහුගේ ගායන ක්‍රම ශිල්ප තුළ, බටහිර පොප් ගායන ශෛලියේ මෙන් ම සමහර සම්භාව්‍ය ගායන තාක්ෂණික උපක්‍රම ද දැකිය හැකි අතර බොහෝ තරුණ ගායකයන් ද ඔහුගේ ගායනය අනුකරණය කිරීම ට පෙලඹුනු බව රහසක් නොවෙයි..කෙසේ නමුත් මෙහි ගායනය තුළ, ඔහු පෙර ගීත වල දක්වන ලද ප්‍රතිභාව දැකිය හැකිදැයි සැකයක් උපදියි. "අතීතය දෝත ට අරන් අපි අහස් ගඟට ම විසිකළා", "පහන නිවුණා" වැනි කොටස් ගායනය කිරීමේදී මීට වඩා පුහුණුවක් සහිත ව ගායනය ඔපමට්ටම් කළ හැකි ව තිබූ ස්ථාන බව පෙනෙයි. එසේ ම මෙම තනුව බටහිර සංගීත ලක්ෂණ සහිත නිසා ගායනයේ දී සමහර වාක්‍ය ඛණ්ඩ අවසානයේ ස්වර කම්පනය කරවීම් (Vibrato) යොදා ගැනීමෙන් ගීය ට මීට වඩා අලංකාරයක් එක් කළ හැකි බව ද සඳහන් කළ යුතු ය. කෙසේ නමුත් සමස්තයක් ලෙස ගත් කළ ගායනයේ භාව ප්‍රකාශනයන් ප්‍රශස්ත මට්ටමක පවතින බව පෙනෙයි..
මෙය සංගීතය සම්පාදනය කළ නාලක අංජන කුමාර නිර්මාණය කරන ලද තනු අතුරින් මෙය සුවිශේෂී කඩඉමක් සටහන් කරන තනුවක් ලෙස හඳුනාගත හැකි ය. වි‍යෝග ශෘංගාරය ඉතා හොඳින් ඉස්මතු වන පරිදි තනුව නිර්මාණය කොට ඇත. එසේ ම මෙහි සංගීත සංයෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බව කිව යුතු ය. ඔහුගේ වාදන භාණ්ඩය වන ගිටාරය ද ප්‍රශස්ත මට්ටමින් මෙහෙයවා තිබෙයි. ගීතය ආරම්භයේ දී වාදනය වන සංධ්වනික යෙදවුම්, (Symphonical Arrangements) ගීතයේ සම්භාව්‍ය බටහිර සංගීතයේ (Western Classical Music) ඇසුර විදහා දක්වයි. ෂෙලෝ සහ වයලින් යොදගනිමින් වාදනය වන ප්‍රතිවාදන (Counter parts) ද අපූරු ය. පළමු අතුරු වාදනයේ එන පියානෝ වාදන කොටසින් පෙම්වතා ප්‍රේමයෙන් පරාජය වීමෙන් ඇතිවූ මනසේ චංචල වීම පෙන්වයි. බටහිර බටනලාවෙන් වැයෙන වාදන කොටස් (Music Bits) ගීත රචනාවෙන් ඉදිරිපත් වෙන අතීත ශෝකී ස්මරණයන් (Nostalgic Expressions) තීව්‍ර කරන බව පෙනෙයි. අවසානයේ වැයෙන ගිටාර ඒකල වාදනය ද (Guitar solo) ගීය ට අලංකාරයක් එක් කොට තිබෙයි. සංගීත භාණ්ඩ බහුල නොවීම සහ සංගීත සංයෝජනය සරල වීම ද මෙහි රසය උද්දීපනය කිරීම ට හේතුවී ඇත.
අවසාන වශයෙන්, මෙම ගීය ප්‍රබල නිර්මාණකරුවන් තිදෙනෙකු ගේ ඒකාත්මික වීමෙන් නිමැවුණු අපූරු නිර්මාණයක් බව කිව හැකි ය.

මීයැසි විනිස - අවනඩුවක්

දෙවොල් බෙරේ කර තියාන
හැන්දෑ දුරේ ඔබ යනකොට
මගේ හිතට කළුවර එනවා
සලඹ තියා වරම් ගන්න
පත්තිනි දේවිත් නො ඇසුව
මේ අවනඩු කාට කියනවා //

නාගදරණ, ගුරුළුරාජ කැටයම් ඔප කළ
ඔබ හැදු වෙස් මුහුණ අන්න රට සල්පිල් වල
නැතිබැරිකම් හතර වටින් එබිකම් දෙනකොට
පෑල දොරට අගුළු දමා - මං රෑ තනියම //

පනික්කි රාළේ කැරකෙන බඹර වලල්ලක
රෑට මඩුපොළේ නටනා පෙළහර පාමින
මීතෙල් පන්දම් එළියෙන් නුරා මුකුළු දෙන
වාවන්නෑ මයෙ දෙයියෝ මේ ඒ ඔබමද
                                               ගායනය - Shanika Sumanasekara
                                               රචනය - Asanka Ruwan Sagara
                                               සංගීතය - Darshana Ruwan Dissanayake

      'දෙවොල් බෙරය', 'යක් බෙරය' නැතිනම් 'පහතරට බෙරය' යනු ලංකාවේ පහතරට කලාපය ට ආවේණික, පහතරට ශාන්තිකර්ම වලදී නිතර භාවිත කරනු ලබන 'ආතත' ගණයට ගැනෙන බෙර වර්ගයකි. දෙවොල් බෙර වාදනය සහ නර්තනය පරම්පරාගත ව පැමිණෙන්නකි. එසේ බෙරවාදනය, නර්තනය සිදු කරන ගුරුන්නාන්සේ කෙනෙකු පාදක කරගෙන ලියැවුණ ගීත රචනාවක් දුටුවේ පළමු වතාවටයි..එවැනි ගුරුන්නාන්සේ කෙනෙකු සතු තරුණ බිරියකගේ අධ්‍යාත්ම ප්‍රකාශනයක් ලෙස ලියැවී ඇති මෙහි සමස්ත රචනාව ම සංස්කෘතික වටපිටාවක පිහිටුවා තිබෙයි. විවිධ ශාන්තිකර්ම සඳහා සවස් වරුවට ගෙදරින් පිටවන සිය ස්වාමියා බොහෝවිට පැමිණෙන්නේ පසුවදා ය. එතෙක් ඇය ට නිවසට වී හුදෙකලා ව සිටීම ට සිදුවෙයි. තරුණ බිරියක ලෙස ඇය මෙම පාළුව, තනිකම දරාගන්නෙ කෙසේද? රාත්‍රී කාලයේ ඇගේ සිතට මතුවන විවිධ ශෘංගාරාත්මක හැඟීම් බෙදා ගැනීමට සිය ස්වාමියා ඇය අසල නොමැති වීම තරම් බිරියකට තවත් දුකක් ඇත්ද? මෙම විප්‍රලම්භ ශෘංගාරිත භාව ප්‍රකාශනය ගීතය පුරාම විහිදී තිබෙයි..කාන්තාවන් සිය දුක් අඳෝනා බොහෝවිට පවසනු ලබන්නේ පත්තිනි දේවියට ය..ඇය කාන්තාවන්ගේ විමුක්තිකාමිනිය ලෙස වසර දහස් ගණනක් තිස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පිළිගැනීමට ලක්වී තිබෙයි..මෙහිදී කතානායිකාව ඇයගේ දුක්ඛ දෝමනස්සයන් පත්තිනි දේවිය ට පැවසුව ද ඇයට පිළිසරණක් ලැබී නොමැති බවක් කියැවෙයි.
බොහෝ පහතරට ගුරුන්නාන්සේලා ලීයෙන් පිළිම, වෙස් මුහුණු නෙලීමේ රුසියෝ වෙති. ඔවුන් සමහර නිර්මාණ කිරීමට මාස ගණනක් කල් ගන්නා බව දැක ඇත්තෙමි. එසේ බොහෝ වෙහෙස මහන්සියෙන් නෙලන වෙස් මුහුණු වලට ඔවුන්ට ලැබෙන්නේ සොච්චමක් බවද දනිමි. මේ විවෘත ආර්ථික රටාව තුල පොහොසතුන් වී ඇත්තේ නිෂ්පාදකයා නොව අතරමැදියා බව රහසක් නොවෙයි. නිෂ්පාදකයා හැමදාම තම දහදිය මහන්සිය වගුරද්දී අතරමැදියා සිටුමාළිග තනා සැප ජීවිත ගත කරයි. ඒ අනුව මෙම සිද්ධිය ට අදාළ ගුරුන්නාන්සේ නිපදවන මුහුණු රට සහ මෙරට වෙළඳසැල් තුළ ඉහල මිලකට විකිණෙන්නේ ඔවුන් සදාතනික දුප්පත් කමක ගිල්වමිනි. දුප්පත්කම ඉදිරි දොරෙන් එනවිට ආදරය පෑල දොරින් පළා යන බව අප අසා තිබේ. නමුත් කතා නායිකාව තම දුප්පත් ස්වාමියා ඉදිරියේ එසේ හැසිරෙන්නේ නැත. ස්වාමියා නොමැති සයනයේ තනිය මකන්න ට වෙනත් පුරුෂයන් සොයන්නේ නැත.."පෑල දොරට අගුළු දමා - මං රෑ තනියම" යන යෙදුම ඉතා ප්‍රබල යෙදුමක් බව පෙනෙයි. එයින් ගම්‍ය වන අර්ථ ද්විත්වය පැහැදිලි ය. 'දුප්පත් නිවසින් ආදරය පළා නොයන ලෙසත්, වෙනත් පුරුෂයෙකු ට ඇතුල් වීමට නොහැකි වන ලෙසත් පතිනිය විසින් වසාදමා ඇති දොර' රචකයාගෙ කාව්‍යාත්මක ශඛ්‍යතාවය මැනැවින් ප්‍රකට කරයි.
බඹර වලල්ල යනු පහත රට ශාන්තිකර්ම වල එන එක්තරා හරඹයකි. බඹරයක් කැරකෙන්නාක් මෙන් ඉතා වේගයෙන් කැරකෙමින් පාන දස්කම, ශිල්පියාගේ ශිල්පීය හැකියාව පිළිබඳ සාක්ෂි සපයයි. මඩුවක නටන විට, නැට්ටුවා පෙළහර පාන විට එය ඔහුට මහත් ආඩම්බරය ට කරුණකි. එසේ ම ඔහුගේ බිරිඳට ද සිය සැමියාගේ හැකියාවන් පිළිබඳ ආඩම්බර විය හැකිය. මීතෙල් පහන් එළියෙන් පෙනෙන තෙල් තැවරී ඇති නැට්ටුවාගේ ශරීරය දකින බිරිඳගේ ආශාවන් පහන්සිල මෙන් ඇවිලෙයි. මෙසේ පෙළහර පාමින් නටන්නේ නිවසේ සයනයේ තමා ඉදිරියේ අක්‍රීය චරිතයම දැයි බිරිඳ ට සිතාගැනීමටවත් නොහැකි ය..මෙයින් ඇය පෙළන විප්‍රලම්භ ශෘංගාරය තවත් වැඩිවෙයි..
මෙසේ මෙතෙක් ගීත රචනාවලට බහුල ව යොදානොගැනුණු නැවුම් වස්තු බීජයක් සිය නිර්මාණය ට යොදාගැනීම ම රචකයාගේ නිර්මාණාත්මක ගුණය ඉස්මතු කරන්නකි. ඔහු යොදගන්නා වචන මාලාව විදග්ධ වාං මාලාවක් නොව ප්‍රාදේශිය ව ව්‍යවහාර වන, කතා පුවත පැවසීමට සහ භාව ප්‍රකාශනය ට සුදුසු ම වචන එකතුවකින් සමන්විත වෙයි..
මෙය ගායනා කරනු ලබන ගායිකාව පිළිබඳවද විශේෂයෙන් ඇගයීමක් කළ යුතු ය. වර්තමානයේ ඇසෙන බොහෝ ගායනා ශ්‍රැතිභංග ගායනා බව අමුතුවෙන් කිවයුතු නොවේ. ශානිකා සුමනසේකර ගායිකාව නිවැරදි ශ්‍රැතිමත පිහිටා, හැගීම්බර අයුරින් ගායනා කරමින් ගීතයට කර ඇති සාධාරණය මෙහිදී අප අගයන්නේ එබැවිනි. සිංහල ගීතයේ නීලා, සුජාතා, රශ්මි සංගීතා වැනි ප්‍රවීණ ගායිකාවන් ගේ ගායනා සිහිපත් කරවන ඇයගේ කටහඬ උතුරු ඉන්දියානු ස්වර පද්ධතියෙන් මනා ලෙස හික්මී ඇතිබව පෙනෙයි. එසේ ම ගීතයේ වදන්වලට භාවාත්මක අරුත් එක් කරමින් ඇය කරන පෙළහර ද අපූරු ය. මෙවන් ගායනා ඇසෙද්දී සුපිරිතරු තරග ආදී විසූක දස්සන හරහා අපෙන් අහිමිකළ ගීත සංස්කෘතිය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිවෙයි..වරෙක ජන නාද රටා සමගද, විටෙක ශෘංගාරය මුසු ගායනා ඛණ්ඩ සමග ද විකුම් පාන ඇය ගීතයේ මුඛ්‍ය චරිතය තමා ම බව අපට පෙන්වා දෙයි.
තනු නිර්මාණයේදී සහ සංගීත සංයෝජනයේ දී සංගීත අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක ජන නාද රටා ඇසුරු කොට ඇති බව පෙනෙයි..පහතරට ශාන්තිකර්ම ගායනා වල එන 'කඩතිර හැරීමේ කවි' සහ 'ගිරිදේවී කවි' වල නාදරටා ගීතය පුරා ම දැකිය හැකි ය. 'සැරී සොඳට නිල් වරලස දිලෙන්නේ' යනුවෙන් ආරම්භ වන ජන ගායනාවේ ස්වර සංගතිය ගීතයේ ආරම්භක ගායනය සඳහා යොදගෙන තිබෙයි. ජන ගායනාවක නාද රටාවක් පවතින ආකාරයෙන් ම නිර්මාණ සඳහා යොදාගැනීම හැඳින්වෙන්නේ 'ප්‍රතිනිර්මාණ' වශයෙනි. රෝහණ බැද්දගේ ශූරීන් සිය 'සිංහල සංගීත ශෛලිය' ග්‍රන්ථයේ මේ පිළිබද මනා ලෙස විස්තර කොට තිබෙයි. ජන නාද වල පවතින යෙදුම් (Idioms) භාවිතා කොට 'නව නිර්මාණ' කළ හැකි ය. එතුමාගේ 'කන්දේ ලන්දේ' ගීතය ඇසෙනවිට අපට ඍජුව ම ජන ගීයක් සිහියට නොනැගේ . ඒ එහිදී එතුමා භාවිතා කොට අැත්තේ ජන නාදරටා වල පවතින යෙදුම් වන බැවිනි. නමුත් ලයනල් රන්වලයන්ගේ 'ගම අවුලඤ්ඤං' ගීය ඇසෙද්දී අපට ජන ගීයක් සිහියට නගා ගත හැකි ය. එ් එය තිබෙන ජන නාද රටාවට අලුතින් වචන කවා කළ ප්‍රතිනිර්මාණයක් බැවිනි. මෙය ආචාර්ය කේමදාස පවා භාවිතා කළ ක්‍රමවේදයකි. 'පුරං අප්පු' චිත්‍රපටයේ එන පරාක්‍රම කොඩිතුවක්කු රචනා කළ 'බත කා ඉවරයි' ගීය හෝ 'පිරිනිවන් මංගල්ලයේ' එන 'එක එක රිදී තොරණින් ද' ගායනය ඍජුවම ජන නාද රටා ඇසුරින් කළ ප්‍රතිනිර්මාණයෝ වෙති. කෙසේ නමුත් වඩා නිර්මාණාත්මක ක්‍රමය වන්නේ යෙදුම් භාවිතාව බව කිව හැකි ය. සංගීතය සංයෝජනයේදී පහතරට බෙරයෙන් වැයෙන සාම්පුදායික පද ඉක්මවා නිර්මාණාත්මක ස්වරූපයකින් එය යොදාගෙන තිබීම අගය කළ යුතු ය. බෙරයේ 'ලෙලවීම' කාන්තාවගේ සැඟවුණු රතිකාමාසාවන් පිළිබඳ ඉඟිකරයි. පෘතුගීසීන් විසින් මෙරට ට හඳුන්වාදුන් සංගීත භාණ්ඩයක් වූ බැංජො ගිටාරය ද ගීතයේ ජන නාද රටා ඉස්මතු කිරිමට සහ කතා නායිකාවගේ අධ්‍යාත්ම ප්‍රකාශනය ට ප්‍රබලව බලපා ඇත.
2014 වසරේ ජන සංගීතය ආශ්‍රිත හොඳම තනු නිර්මාණය ලෙස රාජ්‍ය සම්මානයෙන් පුද ලද සහ හොඳම ගීත රචනාව ට නිර්දේශිත මෙම ගීතය සමස්තයක් ලෙස ගත්කල, අවර ගණයේ ගීත ඇසීමෙන් ආතුර වූ අප චිත්ත සන්තානය ට ඉසින පිරිත් පැන් බිඳක් බඳු බව කිව යුතු ය.

Sunday, 15 July 2018

මීයැසි විනිස - සරාගී අඩවියේ

පි- සරාගී...අඩවියේ
ගැ - දසදහස් මලින් සුගන්ධ වූ
පි - උන්මාද වේ...හැඟුම් පැතුම් කෑ ගසා උන්මාද වේ
ගැ - ආදරේ
පි - ආදරේ
ගැ - දෝංකාරදී සිනාසේ

පි - ගනඳුර, ගනඳුර සිත කැටි ගැසුණු ගනඳුර
නීල වලා සළු විහිදී, කඳු වැටි වල, කඳු වැටි වල, රිදුම් ලැබූ කඳුවැටි වල
ගැ - පින්න තැවරිලා හරිම සීතලයි
සරාගී.....
ගැ - පිබිදුණ පිබිදුණ දෙතොල් පෙති පෙඟී පිබිදුණ....හංසයෝ ඔබෙන් සැඟවී
පි - හදමල් විල, හදමල් විල, පෙමින් හැඬූ හදමල් විල
ගැ - සුවඳ ඔබ නිසා තවම උණුසුමයි
සරාගී.....
ගායනය - අමරසිරි පීරිස්/මාලනී බුලත්සිංහල
රචනය - මහාචාර්ය සමන්ත හේරත්
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපට‍ය - 'කුලගෙය' (1992)
අධ්‍යක්ෂණය - එච්.ඩී. ප්‍රේමරත්න

      ආචාර්ය කේමදාස නිර්මාණය කරන ලද චිත්‍රපට ගීත අතරින් වඩාත් ජනප්‍රිය වූ ගීතයක් ලෙස සැලකිය හැකි මෙය ඉතා ශෘංගාරාත්මක රචනාවක් බව කිව හැකිය. උච්ඡ ස්වරයෙන් ගායනා වන කොටස් ගීතයේ ශෘංගාරය සංගීතාත්මක ව ඉදිරිපත් කිරීමට උපකාරී වී තිබෙන බව පෙනෙයි..එම උච්ඡ ස්වර ගායනා සමග ගිටාරයේ මන්ද්‍ර ස්වර වාදන, ගීතයට අමුතු හැඩයක් එක්කොට ඇත..ගීතය විඳින්න..රචනාවේ ප්‍රබලත්වය සංගීතයෙන් මනා ලෙස උත්කර්ෂය ට නංවා ඇති ගීතයකි..
ගීතය රසවිදින්න පහතින්

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...