Sunday 28 October 2018

2018 අන්තර්ජාතික මහජන රූපවාහිනී සමුළුවේ (International Public Television Screening Conference - INPUT) තෝරාගත් නිර්මාණ ඔස්සේ වාර්තා චිත්‍රපටවල නූතන භාවිතාවන් හඳුනාගැනීම.


    ජාත්‍යන්තර මහජන රූපවාහිනී ආයතනවල සහ රූපවාහිනී වැඩසටහන්වල ගුණාත්මකභාවය  සහ ප්‍රමිතිය ඉහළ නැංවීමේ අරමුණෙන් 1977 දී පිහිටුවාගත් ‘අන්තර්ජාතික මහජන රූපවාහිනී සමුළුව’ හෙවත් International  Public Television Screening Conference – INPUT විසින් වාර්ෂිකව, විවිධ රටවල්වල තෝරාගත් රූපවාහිනී වැඩසටහන් ප්‍රදර්ශනය කරන සමුළුවක් පවත්වයි. මෙවර එය පවත්වනු ලැබූයේ ඇමරිකාවේ බෲක්ලින්හිදී ය. එහිදී තෝරාගත් වාර්තා චිත්‍රපට 74ක් ප්‍රදර්ශනය කරනු ලැබිණි. එම සමුළුව සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාවේ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය එනම් ගොතේ ආයතනයත් ජාතික රූපවාහිනියත් එක්ව මේ මස 17,18,19 දිනයන්හිදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී MINI - INPUT සමුළුවක් පවත්වනු ලැබිණි. එහිදී බෲක්ලින්හි ප්‍රදර්ශනය කළ චිත්‍රපට අතුරින් තෝරාගත් චිත්‍රපට 18 ප්‍රදර්ශනය කරන ලදි. මෙහි ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරකයන් ලෙස ගොතේ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය පෙට්‍රා රේමන්ඩ් මහත්මියත්, ජාතික රූපවාහිනියේ අතුල දිසානායක මහතාත් කටයුතු කරයි.
            එහිදී ප්‍රදර්ශනය කරන ලද වාර්තා චිත්‍රපට අතුරින් How damaging are antibiotics?, P3 Satire, Breaking the cycle, Sleeping with the enemy, Grotesto; The refugee crisis – A musical, The shell, National Bird නැරඹීමට අපට හැකිවිය. ජෝන් ග්‍රිහර්සන්, රොබර්ට් ජේ. ෆ්ලැහර්ටි වැනි පුරෝගාමී වාර්තා චිත්‍රපටකරුවන් මුල් යුගයේ වාර්තා චිත්‍රපට නිර්මාණය කළ අරමුණු සහ භාවිතාවන්වලට වඩා වෙනස් සහ සංකීර්ණ සමාජ දේශපාලනික තත්වයන් නිරූපණය වන පරිදි වර්තමානයේ වාර්තා චිත්‍රපට යොදාගන්නා ආකාරය මේතුළින් මනාව පැහැදිලිවු බව කිවයුතුය.  සමහර අවස්ථාවල නිර්මාණකරුවන් විසින් මේවා වෘතාත්ත චිත්‍රපටවලට වඩා ප්‍රබලවත්, බලපෑම්සහගතවත් භාවිතා කරන ආකාරය ශාස්ත්‍රාලයීය අධ්‍යයනයන්ට ලක්වීය යුතු විෂය පරාසයක් බව පෙනිණි.
                    How damaging are antibiotics? චිත්‍රපටය ප්‍රතිජීවක ඖෂධ මිනිස් සිරුරට කෙතරම් හානිදායක විය හැකිද යන්න පර්යේෂණාත්මකව තහවුරු කරන වාර්තා චිත්‍රපටයකි.
                    P3 Satire මෙය තරුණ ඩෙන්මාක් වැසියන් තුළ කාලීන සිදුවීම් පිළිබ අවධානය ඇතිකරවීම සම්බන්ධ චිත්‍රපටයකි. ඉහළ සිට පහළට ඩෙන්මාක් සමාජය තුළ පවතින දුර්වලතා වලට පහරගැසීමත් ඒවා නිවැරදි කරගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන් යොමුකිරීමත් මෙහි අරමුණයි. මෙහිදී රොබෝ දේශපාලකයෙකු (Robot Politician) නම් සංකල්පයක් නිර්මාණය කොට ඔහුගේ හැසිරීම උත්ප්‍රාසාත්මකව දක්වමින් දේශපාලකයාගේ දුර්වලතා විවේචනය කිරීමට ඩෙන්මාක් ජාතික ජෝන්ස් දෙල්ෆ්ට්ස් අධ්‍යක්ෂවරයා සමත් වී තිබෙයි. රටේ දේශපාලනයේ මජරභාවය ප්‍රශ්න කරන මෙවැනි වාර්තා චිත්‍රපටකරුවන් අපේ රටටද වැඩිවැඩියෙන් අවැසිය.
                        Breaking the cycle යනු නෝර්වේහි හල්දෙන් සිරකුටියේ පාලකයා ඇමරිකාවේ නිව්යෝක්හි ඇටිකා කරෙක්ෂන් ෆාසිලිටි බන්ධනාගාරය බැලීමට යන ගමනත් එම බන්ධනාගාර අතර පවතින වෙනස්කම්ද දක්වමින් කරන වාර්තා වැඩසටහනකි. මෙහිදී නෝර්වේ බන්ධනාගාරයේ පවතින පහසුකම් වැඩි ස්වභාවයත්, සිරකරුවන්ට සළකන මානුෂීය ක්‍රමයත්, ඇමරිකාවේ බන්ධනාගාරයේ පවතින සාපේකෂව පහසුකම් අඩු ස්වභාවයත් මානුෂීය නොවන ක්‍රියාකාරකමුත් මෙහිදී පැහැදිලිව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂ තෝමස් ලින්ඩ් නිර්භීත වී තිබෙයි. නෝර්වේහි සිරකරුවෙකු පවසන “අපි මෙහේ ඇවිත් ඉන්නෙ දුවමක් විදියට මිසක් දුවම් විින්න නෙවෙයි” (We came here as a punishment, not to be punished) යන ප්‍රකාශය අතිශය ප්‍රබල ප්‍රකාශයක් බව පෙනෙයි. ඇමරිකානු සිරකරුවන් පවසන්නේ තමන්ට ලබාදෙන පහසුකම්, නිළධාරීන් බැණවදින ආකාරය, පුද්ගල නිදහස අහිමිවීම යන කාරණා සම්බන්ධව ඇමරිකාව ලැජ්ජාවට පත්විය යුතු බවයි. එසේම නෝර්වේ බන්ධනාගාරය පිළිබ තොරතුරු දැනගන්නා එක් ඇමරිකානු සිරකරුවෙකු විහිළුවට මෙන් අසන්නේ තමාට එම බන්ධනාගාරයට මාරුවක් ගතහැකිද යන්නයි. මේ අයුරින් මෙම වාර්තා චිත්‍රපටකරුවා ඇමරිකානු බන්ධනාගාර ක්‍රමය සංසන්දනාත්මකව ප්‍රබල ලෙස විවේචනකට බුන් කරයි. මේඅතර නෝර්වේහි බන්ධනාගාරයෙන් පිටවන සිරකරුවා නැවත සමාජගත වීමේදී යහපත් පුද්ගලයෙකු බවට පත්වීමට අනුබල ලැබෙන ආකාරයත්, ඇමරිකානු සිරකරුවා සමාජගත වුවද නැවත බන්ධනාගාරගතවීමට අව්‍ශ්‍ය පසුබිම නිර්මාණය වන ආකාරයත් එනම් චක්‍රීයව එකම දේ සිදුවෙමින් යෑමත් මෙම චක්‍රය බිදැමිය යුතු බවත් Breaking the cycle වාර්තා චිත්‍රපටය පෙන්වා දෙයි.
             Sleeping with Enemy වාර්තා චිත්‍රපටය යුරෝපයේ දක්ෂිණාංශික සහ වාමාංශික කොටස් අතර පවතික උණුසුම් දේශපාලනය පාදක කරගත් නිර්මාණයකි. 2017 පැවති ජර්මානු මැතිවරණයට පෙර ඡන්ද අපේක්ෂිකාවක ජන්ද දායකයකයන් තිදෙනෙකු සමග ගතකරන දිනක කාලයත් ඇය මෙම ඡන්ද දායකයන් දිනාගැනීමට උත්සාහ කරන අයුරුත් මෙහිදී නිරූපණය කෙරෙයි.
                      Grotesto; The refugee crisis – A musical වාර්තා චිත්‍රපටයක් වුවද මෙය සංගීතාත්මක සහ කලාත්මක අයුරින් අපූරු ලෙස නිර්මාණය කොට තිබෙයි. සිරියාව ඇතුළු රටවල පැවති යුද්ධ හේතුවෙන් 2015 වසරේදී යුරෝපයට සරණාගතයන්ගේ විශාල ගලාඒමක් දක්නට ලැබිණි. මොවුන් වැඩිපුරම සංක්‍රමණය වූයේ තුර්කියේ සිට ය. එතැන් සිට ග්‍රීසියට බෝට්ටු මගින් පැමිණ ඉන්පසුව පයින් හෝ දුම්රියෙන් වයඹදිග පොහොසත් රටවලට මොවුන් සංක්‍රමණය විය. තුර්කි වෙරළට ගොඩගැසූ අයිලාන් කුර්දි නම් කුඩා දරුවාගේ මෘතදේහය ලෝකයම සසළ කළ අයුරු අපට මතක ය. මෙම සරණාගතයන්ගේ ගලා ඒම නිසා යුරෝපා රටවල ජාතිකවාදය(Nationalism) ඉස්මතුවිය. සමහර කණ්ඩායම් මෙම සරණාගතයන් වෙනුවෙන් පෙනීසිටියෝය. මෙම සංගීතාත්මක වාර්තා චිත්‍රපටයෙන් නිරූපණය කරන්නේ ස්වීඩනය ඇතුළු යුරෝපා රටවල් මෙම ප්‍රශ්නයට මුහුණදුන් ආකාරයයි. මේ සෑම සිදුවීමක්ම දෙබසක්ම ඉදිරිපත් කරනු ලබන්නේ ගායනාත්මකව ය. එසේම නර්තනය, රංගනය, අංග චලනය, උත්ප්‍රාසය, උපහාසය ආදියද සුදුසු පරිදි නිර්මාණාත්මකව යොදාගෙන තිබෙයි. ප්‍රධාන යුරෝපා රටවල්වල රාජ්‍ය නායකයින් අනුකරණය කරමින් ගායනයේ යෙදෙන රංගන ශිල්පීන් සහ අනෙක් ආනුෂංගික කරුණු ද යොදාගනිමින් මෙම සරණාගතන් පිළිබ ගැටළුව ඉදිරිපත්කිරීමට මෙහි අධ්‍යක්ෂ මයික් ලින්ඩිග්‍රේන් අපූර්ව ක්‍රමයක් අත්හදාබලා තිබෙයි. මෙම චිත්‍රපටය එතරම්ම චිත්තාකර්ශනීය ය. මොහොතකුදු ඇස ඉවතට ගැනීමට නොසිතෙයි. මෙසේ තත්කාලීන සමාජ දේශපාලනික ගැටළුවක් සංගීතාත්මකව ඉදිරිපත් කිරීමට වාර්තා චිත්‍රපටකරුවා යොමුවීම අපට ද උත්තේජනය ලැබිය හැකි මහු අවස්ථාවක් බව කිව යුතුය.
                      The Shell වාර්තා චිත්‍රපටය සරණාගත ජීවිතයේ දුෂ්කරතා විදහා දක්වන නිර්මාණයකි. යුද්ධයෙන් බේරීමට පළාගිය වැසියන්ගේ කතා, කාලතුවක්කු උණ්ඩයක් ඇදගෙන යන බූරුවෙකුගේ දර්ශන සමග මුසුකරමින් අධ්‍යක්ෂ ඔසුමුරෝඩ් ශරිපොව් මෙය ඉදිරිපත් කරන ආකාරය සිත්ගන්නාසුළු ය.
                             යුද්ධයේදී ඇමරිකානු ඩ්‍රෝන යානා මගින් නිරපරාදේ අහිංසක මිනිසුන් සියදහස් ගණනක් මරාදැමීමේ බිහිසුණු අත්දැකීමෙන් පසු තම හෘදසාක්ෂිය විදාරණය කොට මෙම රහස් මෙහෙයුම් පිළිබඞ අවදිකරන ඇමරිකානුවන් තිදෙනෙකු පිළිබඳ නිර්මාණය වූ වාර්තා චිත්‍රපටය ඇමරිකානු ජාතික සෝනියා කෝන්බෙක් ගේ National Bird ය. මෙහිදී විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයට ඩ්‍රෝන යානා මගින් බෝම්බ හෙළීමත්, එහිදී සිවිල් වැසියන් මිය යෑමත්, එයින් බේරුණු වැසියන් මියගිය සිය ඥාතීන් පිළිබඳව කරන කණගාටුදායක අතීතාවර්ජනයත් සැබෑ පුද්ගලයන් සමග සැබෑ භූමියේදීම රූගත කොට තිබෙයි. එසේම එම සිදුවීම්, ඥාතීන්ගේ විස්තර හා ඩ්‍රෝන් යානාවල පටිගත කළ දර්ශන සහ දෙබස් සමග මනාලෙස ගලපමින් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අධ්‍යක්ෂවරයා සමත්වී තිබෙයි. යුද්ධය පවත්වාගැනීමේදී ඇමරිකානු පාලකයන්ගේ අරමුණු කුමක් වුවද ඒවායින් කුමන රටක හෝ ජීවත්වන අහිංසක ජනතාවගේ ජීවත්විමේ නිදහස අහිමිකිරීම ප්‍රශ්න කිරීමට ද, ලෝකයේ අනෙකුත් රටවල්වල මානව හිමිකම් සහ යුධ අපරාධ ආදිය පිළිබද විශාල ලෙස අවධානයත්, කණස්සල්ලත් පළකරන ඇමරිකාවේ සැබෑ ස්වරූපය හෙළිදරවු කිරීමටද ඇමරිකානුවෙකු වන අධ්‍යක්ෂවරිය නිර්භීත වී තිබෙයි.
      මේ අනුව සිනමාවේ ප්‍රභේදයක් වන ‘වාර්තා චිත්‍රපටකරණය’ යනු තත්කාලීන සමාජ දේශපාලනික හා සංස්කෘතික ආදී ගැටළු සාකච්ඡා කිරීමටත්, ඒවා ප්‍රශ්න කිරීමටත්, සමාජ අවධානය යොමුකරවීමටත් යොදාගත හැකි ප්‍රබල මාධ්‍යයක් බව පෙනෙයි.  
 (විශේෂ ස්තුතිය - ජාතික රූපවාහිනියට සහ ගොතේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ආචාර්ය පෙට්‍රා රේමන්ඩ් මහත්මියට.)

අමිත් ලියනගේ

No comments:

Post a Comment

ඉන්දියානු කලාත්මක සිනමාව පෝෂණය කළ බෙංගාලි මහා සිනමාවේදියා ; රිත්වික් ඝටක් (1925-1976)

                             රිත්වික් ඝටක් බෙංගාල සිනමාවේදියෙක් මෙන්ම තිර රචකයෙකි.   අනෙකුත් ප්‍රකට බෙංගාල සිනමාකරුවන් වන සත්‍යජිත් රායි ස...